ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

1551

ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට සැලසුම් කර ඇති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

ආබාධ නිසා ආසියානු කුසලානයෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මදුශංක මෙම සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන නමුත් ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම ශාරීරික යෝග්‍යතාව මත තීරණය වෙනවා. 

එමෙන්ම පසුගිය කාලසීමාවේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට සිදු වූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා තිබෙන අතර ඔහු ද මෙම ලෝක කුසලාන සංචිතයට ඇතුළත්.  

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සිය ආබාධයෙන් තවමත් සුවය ලබා නොතිබීම නිසා මෙම 15 දෙනාගේ සංචිතයට ඇතුළත්ව නැහැ.

නමුත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්ෂණය යටතේ පසුවන බව සහ තරගාවලිය අතරතුර අදාළ ශාරීරික යෝග්‍යතාවයටඟා වීමට සමත් වුවහොත් තරගාවලිය තුළ ආබාධයට ලක් වන ක්‍රීඩකයෙකු වෙනුවට ඔහු ආදේශ කිරීමට ඉඩ ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණා.  

ඒ අනුව ලෝක කුසලානයට සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස එක් කර තිබෙන්නේ දුෂාන් හේමන්තයි.  

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීර මෙම සංචිතයේ ස්ථානය අහිමිව තිබෙන අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ ඔහු උරහිසේ ආබාධයකට ලක් වීම එයට හේතුවයි.  

ආසියානු කුසලානයේ තීරණාත්මක පාකිස්තාන තරගයේ දී ආබාධයට ලක් වූ මහීෂ් තීක්ෂණ මෙම සංචිතයට ඇතුළත් වන අතර ඔහුගේ සහභාගීත්වය ද ශාරීරික යෝග්‍යතාව මත තීරණය වෙනවා. 

ආසියානු කුසලානය ක්‍රීඩා කළ පිතිකරුවන් සියල්ල මෙම සංචිතයට ඇතුළත්ව තිබෙන අතර පසුගිය කාලසීමාවේ වැඩි කතාබහට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට සංචිතයේ ඉඩක් හිමිව නැහැ. 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා ඔක්තෝබර් 07 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි. 

එම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අගෝස්තු 29 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ සහ ඔක්තෝබර් 03 වැනිදා බංග්ලාදේශය සමඟ පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.  

ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය, 

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.  

අතිරේක : චාමික කරුණාරත්න.  

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<