Ashwin අවසන් මොහොතේ හෝ ඉන්දීය ලෝක කුසලාන සංචිතයට පැන ගනීවි ද?

ICC Cricket World Cup 2023

1414

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී විශේෂ වාර්තාවක් පසු කර යෑමට ඉන්දීය පිට දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin විසින් සමත් වුනා. 

කලකට පසු ඉන්දීය එක්දින සංචිතයට එක් වීමට අවස්ථාව හිමි කර ගත් Ashwin විසින් ඕස්ට්‍රේලියාව සමඟ පළමු තරගයේ දී එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වූ අතර, දෙවන තරගයේ දී ඔහු විසින් ලකුණු 41කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. මෙම කඩුලු තුන දවා ගැනීමත් සමඟින් ඔහු මේ වන විට ජාත්‍යන්තර තරග වල දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 144ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. 

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඉන්දීය පන්දු යවන්නකු විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව දවා ගත් වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාව Ashwin සතු වුනා. මීට පෙර මෙම වාර්තාව හිමි වී තිබුණේ හිටපු සුපිරි ඉන්දීය දඟපන්දු යවන්නකු වන Anil Kumble (ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 142ක්) හටයි.  

මීට අමතරව Kumble විසින් පාකිස්තානයට එරෙහිව කඩුලු 135ක්, Kapil Dev පාකිස්තානයට එරෙහිව කඩුලු 141ක් සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 132ක් ලෙස දවා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වනවා. 

Ashwin විසින් ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගාවලියේ දී මේ අයුරින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වීම නිසා ඔහුව එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයට ඇතුළත් කරාවි ද යන්නත් මේ දින වල වැඩි වශයෙන් කතාබහට ලක් වන කාරණයක්. මීට පෙර නම් කළ ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ සිටි Axar Patel ආබාධයකට ලක් වීමෙන් පසුව තවමත් ඔහුගේ ලෝක කුසලාන සහභාගීත්වය පිළිබඳ නිල දැනුම් දීමක් සිදු වී නැහැ. මේ හේතුව නිසා Axar වෙනුවට Ashwin කණ්ඩායමට රැගෙන ඒමට ඉඩ ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ. 

විශේෂයෙන්ම Ravichandran Ashwinට ක්‍රීඩාව කියවීමට ඇති හැකියාව සහ ඔහුගේ උපක්‍රමශීලී බව පිළිබඳ ව බොහෝ ඇගයීම් ලැබෙනවා. ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි තරගයේ දී වමත් පිතිකරු David Warner දකුණතින් පිත්ත හසුරුවමින් Ashwinව මෙල්ල කිරීමට ගත් උත්සාහය වැළැක්වීමට ඔහු සමත් වූවා සේ Marnus Labuschagneව දවා ගැනීමට ද අති විශිෂ්ට පන්දුවක් යොමු කිරීමට Ashwin සමත් වුනා. 

කෙසේ වෙතත් හිටපු ඕස්ට්‍රේලියානු නායක Aaron Finch නම් පවසන්නේ Ashwin ලෝක කුසලාන සංචිතයට එක් නොවෙනු ඇති බවයි. 

” මම හිතන්නේ අවසන් 15 දෙනා අතරට එන්න Ashwinට අපහසු වේවී. ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට එක් වෙලා ඉන්න ඉන්දීය කණ්ඩායමට මේ තරම් ක්‍රිකට් ක්‍රීඩා කළ කෙනෙකුගෙන් තරග ක්‍රීඩා කිරීම ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.” 

Ashwinව කණ්ඩායම සමඟ එක් කර ගැනීම ලෝක කුසලානයේ දී ක්‍රීඩාංගණ හැසිරෙන ආකාරය මත රඳා පවතිනු ඇති බවයි Finch අනුමාන කරන්නේ. කෙසේ වෙතත් Ashwin මේ දින වල පැවැත්වෙන ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට උපදේශකයකු වන්නට ඇති බවයි ඔහු අනුමාන කරන්නේ. 

” Ashwin විශාල තරගවල දී නැගී සිටින අයෙක්. ටෙස්ට් හෝ විස්සයි විස්ස තරග වේවා ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාවටම ඒ දේ කරලා තියෙනවා. 

ඒ නිසා මේ මොහොතේ ඔහු කණ්ඩායම වටා උපදේශකයකු බවට පත් වෙලා නම් මම පුදුම වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට ඔහු අවසන් 15 අතරට එන බවක් නම් මට පෙනෙන්නේ නැහැ.” 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<