ලෝක ශූරයන්ට අභියෝග කළ නවසීලන්තය

ICC Cricket World Cup 2023

394

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (05) Ahmedabad හී Narendra Modi ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ නවසීලන්ත සහ එංගලන්තය අතර මංගල තරගයේ දී ම ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට සිදු වෙමින් නිමා වීම කාගෙත් අවධානයට ලක් වුනා.

මෙම තරගයේ දී නිමා වූ ආසන්නත ම ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ එංගලන්තයට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වුනා.

අවසන් වරට පැවති 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ එංගලන්තය සහ අනුශූරයන් වූ නවසීලන්තය මෙම තරගයට එක් වෙන්නේ වසර 3කට පසුව පසුගිය මාසයේ දී දෙරට අතර පැවති තරග 4කින් යුත් එක්දින තරගාවලියෙන් අනතුරුවයි.

එම තරගාවලියේ දී එංගලන්ත ක්‍රීඩකයෝ තරග 3-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තමන් තවදුරටත් ලෝක ශූරයන් බැව් ප්‍රතිවාදීන්ට අනතුරු ඇඟවූව ද, එය දින 20කට පසුව පැවති තරගයේ දී කණපිට හැරවිමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණා.

කෙසේ වෙතත් නිමා වූ මෙම තරගය 1996 වසරේ දී පැවති 6 වැනි ලෝක කුසලානයේ මංගල තරගයේ ඇතැම් තොරතුරු සමඟින් ද සම ව සැසදෙමින් නිමා වීම විශේෂත්වයක්.

  • 2023 ලෝක කුසලාන පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය

නිමා වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක Tom Latham ප්‍රතිවාදී එංගලන්ත නායක Jos Buttler වෙත පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බාර දුන්නා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් Joe Root පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගත් අතර එය එම ඉනිමේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා.

ඊට අමතරව නායක Jos Buttler පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ද සහ ආරම්භක පිතිකරු Jonny Bairstow පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී Matt Henry ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතරව Mitchell Santner සහ Glenn Phillips කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

එංගලන්තය ලබා ගත් ලකුණු 282ට පිළිතුරු ලෙසින් නවසීලන්ත ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 36.2ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලක් පමණක් අහිමි කරමින් සපුරා ගත්තා.

පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 10ක් ව තිබිය දී අහිමි වූව ද, ඉන්පසුව එක් වූ Devon Conway සහ Rachin Ravindra තම කඩුලු ආරක්ෂා කර ගනිමින් අනෙකුත් ක්‍රීඩකයන්ට සුවදායි විවේකයක් ලබා දෙමින් තරගය අවසන් කළා.

එහි දී Devon Conway පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී 152ක් ද සහ Rachin Ravindra පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 123ක් ද ලබා ගත්තා.

මෙම තරගයේ දී Devon Conway තම ජාත්‍යන්තර එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ද සමත් වූ අතර එංගලන්තයට එරෙහිව වාර්තා කරන ලද මෙම ඉනිම ඔහුගේ තරග 23ක් වූ එක්දින තරග ඉතිහාසයේ හොඳම ඉනිම බවට ද පත් කර ගත්තා.

එමෙන් ම ඉන්දීය දෙමාපිය යුවලකට දාව උපත ලද 23 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Rachin Ravindra ගේ එක්දින ජාත්‍යන්තර තරග 13ක හොඳම ඉනිම ද මෙය බවට පත් කර ගත් අතර තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලබා ගැනීමට ද ඔහු සමත් වුනා.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා ම ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

නවසීලන්තය සහ එංගලන්තය මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ දී එක්දින තරග 3ක් බැගින් සහභාගී වී ඇති අතර ඉන් නවසීලන්තය අපරාජිතව ද සහ එංගලන්තය ලැබූ පළමු පරාජය ලෙසින් ද මෙම තරගය වාර්තා පොත් අතරට එක් වුනා.

  • එංගලන්තය – කඩුලු 9ක් දැවී 282 (50) Jonny Bairstow 33, Joe Root 77, Harry Brook 25, Jos Buttler 43, Liam Livingstone 20, Matt Henry 3/48, Mitchell Santner 2/37, Glenn Phillips 2/17
  • නවසීලන්තය – කඩුල්ලක් දැවී 283 (36.2) Devon Conway නොදැවී 152, Rachin Ravindra නොදැවී 123

නිමා වූ මෙම තරගයේ දී ක්‍රිකට් ඉතිහාසයට එක් වූ වාර්තා

  • පිතිකරුවන් 11 දෙනා ම ලකුණු 10ක් ඉක්මවා ලබා ගත් ඉතිහාසයේ පළමු තරගය

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 282ක් ලබා ගන්නවා. එහි දී සෑම පිතිකරුවෙක් ම ලකුණු 10ක් ඉක්මවා ලබා ගන්නා අතර එය වසර 52ක තරග 4658ක ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ පළමු අවස්ථාව බවට පත් වුනා.

  • ලෝක කුසලාන ඉතිහාසයේ හඹා ගිය හොඳම ඉනිම.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් රැස් කරන ලද 250ක් ඉක්ම වූ ලකුණු හඹා යමින් ජයග්‍රහණය කරන ලද විශිෂ්ඨ කණ්ඩායම බවට ද නවසීලන්තය පත් වුනා.

ඔවුන් මෙම තරගයේ දී ප්‍රතිවාදී ලකුණු 282 පන්දුවාර 36.2කින් හඹා යන අතර ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවටයි. ඒ 2015 ලෝක කුසලානයේ දී අයර්ලන්තය ලබා ගත් ලකුණු 259ට එරෙහිව ඉනිමේ දී පන්දුවාර 36.5ක දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 260ක් ලබා ගනිමින් පෑ දක්ෂතාවයි.

  • Narendra Modi ක්‍රීඩාංගණයේ දී නවසීලන්තය ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව.

මීට පෙර ඔවුන් මෙම ක්‍රීඩාංගණයේ දී ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 1996 වසරේ  පෙබරවාරි 14 වැනිදා එංගලන්ත කණ්ඩායමට ම එරෙහිව කඩුලු 6ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 239යි.

එම තරගය එවර පැවැති 6 වැනි ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගය ද වීම විශේෂත්වයක් වූ අතර එහි දී ද නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 11ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

  • Narendra Modi ක්‍රීඩාංගණයේ දී එංගලන්තය ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව.

මීට පෙර ඔවුන් මෙම ක්‍රීඩාංගණයේ දී ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ICC ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් 2006 වසරේ ඔක්තෝබර් 28 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 276යි. ‍

  • Narendra Modi ක්‍රීඩාංගණයේ දී කණ්ඩායම් 2 ලැබූ ලකුණු එකතුවේ වාර්තාව

මෙතෙක් පැවති තරග අතරින් සත්කාරක රට වන ඉන්දියාව සහභාගී නොවූ තරගයක දී කණ්ඩායම් දෙක ලබා ගත් ලකුණු එකතුවේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව මෙම කණ්ඩායම් 2 සතු වුනා.

ඔවුන් මෙම තරගයේ දී කඩුලු 10ක් දැවී ලකුණු 565ක් ලබා ගන්නා ලද අතර ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ 2006 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ICC ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් ලබා ගන්නා ලද ලකුණු 548ක එකතුවයි.

  • Narendra Modi ක්‍රීඩාංගණයේ දී පිතිකරුවෙක් ලත් වැඩිම ලකුණු සංඛ්‍යාව

මෙම ක්‍රීඩාංගණයේ මෙතෙක් පිතිකරුවෙක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ පෞද්ගලික වාර්තාව නවසීලන්තයේ Devon Conway සතු කර ගත්තා. ඔහු නොදැවී ලකුණු 152ක් වූ තම ඉනිම පන්දු 121ක් වැය කරමින් ලබා ගත් අතර ඊට හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළා.

ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ ඉන්දියාවේ Sourav Ganguly වෙතයි. ඔහු 2000 වසරේ දෙසැම්බර් 05 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 192ක් වැය කරමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟන් ලබා ගන්නා ලද ලකුණු 144 එහි පළමු අසුනේ රැඳී තිබුණා.

  • Narendra Modi ක්‍රීඩාංගණයේ දී එල්ල කළ හතරේ සහ හයේ පහර එකතුවේ වාර්තාව

මෙතෙක් පිතිකරුවෙක් විසින් හතරේ සහ හයේ පහර මඟින් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද නවසීලන්තයේ Devon Conway ලබා ගත්තා. ඔහු මෙම තරගයේ දී එල්ල කරන ලද හතරේ පහර 19 සහ හයේ පහර 3 එකතුව ලකුණු 94ක් වුනා.

ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Chris Gayle. ඔහු 2002 වසරේ නොවැම්බර් 15 වැනිදා ඉන්දියාවට එරෙහිව හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 78ක එකතුවක් එක් කර ගනිමින් මෙතෙක් එම වාර්තාවේ රැඳී සිටියා.

  • Narendra Modi ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක ඉහළ ම සබඳතාව

මෙතෙක් වාර්තා වූ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කර ගැනීමට නවසීලන්තය මෙම තරගයේ දී සමත් වුනා.

එහි දී Devon Conway (නොදැවී 152) සහ Rachin Ravindra (නොදැවී 123) එක් ව දෙවැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 273ක සබඳතාවක් එක් කරනවා.

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ Sourav Ganguly (144) සහ Rahul Dravid (62) එක් ව 2000 දෙසැම්බර් 05 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 175යි.

  • 1996 ලෝක කුසලාන පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය

එදා 6 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගයට සහභාගී වූයේ ද නවසීලන්තය සහ එංගලන්ත කණ්ඩායම් 2යි. අද Narendra Modi ක්‍රීඩාංගණය ලෙසින් නම් වූව ද, එදා මෙම ක්‍රීඩාංගණයේ දී ම මෙම තරගය පැවතියේ Gujarat Stadium නමින් නම් කෙරෙමින් තිබිය දී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Mike Atherton, නවසීලන්ත නායක Lee Germonට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්  කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ලබා ගත්තා.

එය එතෙක් නවසීලන්ත කණ්ඩායම එම ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වූ අතර මෙම තරගය දක්වා ම එය පැවතියා.

ඊට පිළිතුරු ලෙසින් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා. එය තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවූවත් එතෙක් එංගලන්තය මෙම ක්‍රීඩාංගණයේ දී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් එය වාර්තා පොත් අතරට එක්ව තිබෙමින් වසර 10ක් ගෙවුණ 2006 දක්වා ම නිරුපද්‍රිතව තිබුණා.

එමෙන් ම එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ Nathan Astle (101) සහ Stephen Fleming (28) 2 වැනි කඩුල්ලට ලකුණු 96ක සබඳතාවක් එක් කරමින් එය එතෙක් දෙරට අතර මෙම ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් කළා.

නමුත් දෙවැනියට පන්දුවට පහර දීමට පිවිසි එංගලන්ත කණ්ඩායමේ Alec Stewart (34) සහ Graeme Hick (නොදැවී 85) එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 99ක් වාර්තා කරමින් පැය කිහිපයකට පසුව එම වාර්තාව ඔවුන් සතු කර ගනිමින් මෙම තරගය දක්වා ම එය රැක ගත්තා.

එම තරගයේ දී ද එංගලන්ත ක්‍රීඩකයෝ අභිබවා ඉදිරියට පැමිණීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූ අතර තරගය නිමා වෙන්නේ නවසීලන්තයට ලකුණු 11ක ජයග්‍රහණයක් ලෙසින් සටහන් තැබෙමින්.

කෙසේ වෙතත් එදා මෙම කණ්ඩායම් 2 තරගාවලිය නිමා කරන්නේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසෙමින්. එම වටයේ දී එංගලන්තය, ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5කින් පරාජය වෙමින් ද සහ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු 6කින් පරාජය වෙමින් ද තරගාවලියේ ගමන අවසන් කළා.

ඔවුන් පරාජය වූ එම කණ්ඩායම් 2, එම වසරේ පැවති අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එහි දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගත්තා.

එය නැවතත් ඒ ආකාරයෙන් ම සිදු වෙන්නේ නම්.. ශ්‍රී ලාංකිකයන් ලෙසින් එය අපට කෙතරම් ආඩම්බරයකින් යුත් වාසනාවන්ත සැමරීමක් කර ගත හැකි ද?

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<