ලෝක කුසලාන ත්‍යාග මුදල් ප්‍රමාණ නිවේදනය කරයි

ICC Cricket World Cup 2023

2940
ICC Cricket World Cup 2023

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ත්‍යාග මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව ICCය විසින් අද (22) දිනයේ නිවේදනය කළා.

මෙම ඩොලර් මිලියන 10න් මිලියන 4ක් නොවැම්බර් මස 19 වැනි දා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම හිමි වීමට නියමිත අතර, එහි අනුශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 2ක මුදලක් වෙන් කර තිබෙනවා.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 10ම තරගාවලියේ මූලික වටයේ දී අනෙක් ප්‍රතිවාදී කණ්ඩායම් 9 සමඟින් ම තරග වැදීමට නියමිත අතර, මූලික වටය අවසානයේ දී ලකුණු සටහනේ මුල් ස්ථාන හතර හිමි කර ගන්නා කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී එක් ජයග්‍රහණයක් වෙනුවෙන් ඩොලර් 40,000ක් ලබා දීමට නියමිත අතර, මූලික වටයෙන් ඉවතට විසි වන සෑම කණ්ඩායමක් සඳහා ම ඩොලර් 100,000ක් මුදලක් ද ලබා දීමට නියමිතයි.

එමෙන්ම මෙම වසරේ ජුලි මාසයේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදි පැවැත්වුණු ICC වාර්ෂික සමුළුවේ දී පිරිමි සහ කාන්තා ඉසව් සඳහා සමාන මුදලක් බෙදා වෙන් කරන බව නිවේදනය කිරීම නිසා 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ද මේ හා සමාන ත්‍යාග මුදල් බෙදී යාම සිදු වනු ඇත.

ලෝක කුසලානයේ දී මුදල් බෙදී යාමට නියමිත ආකාරය;

Stage මුදල US$ මුළු මුදල US$
ජයග්‍රාහකයා  (1) 4,000,000 4,000,000
අනුශූරතාව 1) 2,000,000 2,000,000
අවසන් පූර්ව වටයෙන් පරාජය වන කණ්ඩායම් (2) 800,000 1,600,000
මූලික වටයෙන් ඉවත් වන කණ්ඩායම් (6) 100,000 600,000
මූලික වටයේ තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් (45) 40,000 1,800,000
මුළු මුදල   10,000,000

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ තවත් රටවල් හතක් ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලබා ගත් අතර, පසුව නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා.

ඔක්තෝබර් මස 05 වැනි දා එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත මෙවර තරගාවලියේ දී සමස්ත තරග 48ක් පැවැත්වීමට නියමිත අතර එවා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 10ක් තුළ පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<