කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවේ දියුණුවට ප්‍රීමා සන්රයිස් මඟින් අඛණ්ඩ 18 වැනි වසරටත් අනුග්‍රාහකත්වය

1
Regional Junior Opens 2027

කොළඹ, ශ්‍රී ලංකාව – 2026 නොවැම්බර් 26: ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව දායකත්වය ලබා දෙන ප්‍රීමා සන්රයිස් (Prima Sunrise), 2026 ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය (Sri Lanka Junior Open Golf Championship 2026) සඳහා 18 වැනි වසරටත් අනුග්‍රාහකත්වය ලබා දෙයි.

එමෙන්ම, 2027 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලි (Regional Junior Opens 2027) සඳහා ද ප්‍රීමා සමාගම සිය අනුග්‍රාහකත්වය අඛණ්ඩව ලබා දීමට කටයුතු කර තිබේ.

මෙවර ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය දෙසැම්බර් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඊට පෙර පුහුණු වටයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර, එම පුහුණු වටය ආරම්භය දෙසැම්බර්  14 වැනිදා පෙරවරු 7.30 සිට සිදු කෙරේ.

වට තුනකින් සමන්විත මෙම තරගාවලියේදී එක් එක් කාණ්ඩය යටතේ අඩුම සමස්ත ලකුණු සංඛ්‍යාව වාර්තා කරන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ජයග්‍රාහකයා ලෙස තෝරා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් තරග දින දර්ශනයේ ප්‍රධානතම තරගාවලියක් වන මෙය ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් (World Amateur Golf Ranking – WAGR) පද්ධතියට ඇතුළත් තරගාවලියක් වීම ද විශේෂත්වයකි. පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ජාතික කනිෂ්ඨ ශූරයන් තෝරා ගැනෙන මෙම තරගාවලිය, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වැදගත් අවස්ථාවක් සලසා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගොල්ෆ් ආයතනයේ කනිෂ්ඨ ගොල්ෆ් සංවර්ධන අංශයේ සභාපති තරංග ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික කනිෂ්ඨ ගොල්ෆ් තරග දින දර්ශනයේ ප්‍රමුඛ තරගාවලියක් ලෙස මෙම ශූරතාවලිය ස්ථාපිත කිරීම සඳහා ප්‍රීමා සමාගම තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇති බවයි.

එමෙන්ම, තරුණ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමටත් මෙම තරගාවලිය වැදගත් වේදිකාවක් සපයන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ප්‍රීමා සමාගම ලබා දෙන අඛණ්ඩ සහයෝගය  තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමටත්, ඉහළ මට්ටමේ තරග සඳහා සහභාගී වීමටත් අවස්ථා රැසක් උදා වී තිබේ. එහි ප්‍රගතිය සනිටුහන් කරමින් අනුරාධපුරයේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුගිය වසර තුළ ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීමේ සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රීමා සමූහයේ ,  සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්හි සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ගොල්ෆ් ආයතනය සමඟ එක්ව අඛණ්ඩව වසර 18ක් මෙම ශූරතාවලියට අනුග්‍රාහකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩා දින දර්ශනයේ වඩාත්ම කීර්තිමත් තරගාවලියක් ලෙස ස්ථාපිත වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

තරගාවලිය වයස් කාණ්ඩ හතරක් යටතේ පැවැත්වීමට නියමිතය. ඒ අනුව, වයස අවුරුදු 15ත් 18ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත හෙවත් රන් අංශයත්, අවුරුදු 13ත් 14ත් අතර පිරිස සඳහා රිදී අංශයත්, අවුරුදු 11ත් 12ත් අතර පිරිස සඳහා ලෝකඩ අංශයත්, අවුරුදු 10 සහ ඊට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තඹ අංශයත් වෙන් කර තිබේ.

දෙසැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයකින් ශූරතාවලිය අවසන් වීමට නියමිත අතර, එහිදී සියලුම අංශවල දක්ෂතා දැක්වූ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ.

වසර 18ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එන මෙම අනුග්‍රාහකත්වය, ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාවේ අනාගත පරපුරේ දක්ෂතා හඳුනා ගැනීමටත්, ඔවුන් ජාත්‍යන්තර තරග බිමට යොමු කිරීමටත් ලබා දෙන වැදගත් දායකත්වයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය (Sri Lanka Junior Open Golf Championship) අංශ හතරකින් සමන්විත වේ:

විවෘත / රන් අංශය (Open / Gold Division) – වයස අවුරුදු 15 සිට 18 දක්වා පිරිමි සහ ගැහැණු ළමුන්

රිදී අංශය (Silver Division) – වයස අවුරුදු 13 සිට 14 දක්වා පිරිමි සහ ගැහැණු ළමුන්

ලෝකඩ අංශය (Bronze Division) – වයස අවුරුදු 11 සිට 12 දක්වා පිරිමි සහ ගැහැණු ළමුන්

තඹ අංශය (Copper Division) – වයස අවුරුදු 10 සහ ඊට අඩු පිරිමි සහ ගැහැණු ළමුන්

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියළු උණුසුම් තරග විස්තර ඔබෙ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.