ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඉන්දියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

ACC Rising Stars Asia Cup 2026

3

කටාර් හි දී පැවැත්වෙන ACC Rising Stars ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ 1 වැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

අද (26) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී  ලකුණු 317ක් ලබා ගන්නවා.   

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දු 51ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 2ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.  

බංග්ලාදේශය පරාජය කළ  ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම 

පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ජනිත් ලියනගේ, වනුජ සහන්, ලහිරු සමරකෝන්, රවිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංකේත්. 

 

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම 

Tilak Varma (නායක), Vaibhav Sooryavanshi, Abhishek Sharma, Kumar Kushagra (කඩුලු රකින්නා), Rinku Singh, Suryansh Shedge, Shahbaz Ahmed, Tanush Kotian, Harsh Dubey, Harshit Rana, Arshad Khan 

ජයග්‍රාහී එම ඉනිමේ දී ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන ශතක ලබා ගැනීමට සමත් වුණා. ඉනිම ආරම්භ කළ ඔවුන් දෙදෙනා 1 වැනි කඩුල්ලට පන්දු 129ක දී ලකුණු 174ක් ලබා ගන්නවා.  

ඔවුන් අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ සිනෙත් ජයවර්ධන. ඒ වෙද්දී ඔහු පන්දු 70ක දී හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 105ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග පිටියේ 3 වැනි ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ලසිත් කෲස්පුල්ලේ සමඟ එක් වෙන්නේ නිශාන් මදුශ්ක. ඔවුන් දෙදෙනා ද ඉන්දීය පන්දු යවන්නන්ට දිගට හරහට තලමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තර කරමින් සිටියා.  ඊට ලකුණු 265ක් වෙද්දී ලසිත් කෲස්පුල්ලේ ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 116ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ එක්දින 8 වැනි ශතකයයි. 

ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නිශාන් මදුශංක පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ නායක පවන් රත්නායක පන්දු 16කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා සිටියා. 

ඔවුන් දෙදෙනා ද 3 වැනි කඩුල්ලට පන්දු 37කදී නොදැවුණ ලකුණු 53ක සබඳතාවක් එක් කරනවා.  

කඩුලු දවා ගැනීමේ දී Shahbaz Ahmed සහ Harshit Rana ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය දවා ගත්තා.  

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉනිම ආරම්භ කළ Vaibhav Sooryavanshi සහ Abhishek Sharma සමත් වෙනවා.  

ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 80ක සබඳතාවක් ගොඩ නගනවා. පෙර තරගයේ දී ද්විත්ව ශතකයක් ලබා ගත් Vaibhav Sooryavanshi ශ්‍රී ලංකාවට එරෙහි ව ද දැවැන්ත ඉනිමකට සූදානම් වූව ද ඔහුගේ ඉනිම පන්දු 27ක ලකුණු 40 දී සීමා වෙනවා. ඒ වෙද්දී ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 4කින් සැරසී තිබුණා.  

Abhishek Sharma ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔහු එම කඩුල්ලට නායක Tilak Varma සමඟ එක්වෙමින් පන්දු 83ක දී ලකුණු 79ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

Tilak Varma ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.  

ඔවුන්ට අමතර ව ඉන්දීය ඉනිම අවසන් වෙද්දී Shahbaz Ahmed පන්දු 48කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා සිටියා. ඔහු එම ඉනිම තුළ දී Tanush Kotian සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 73ක් ද එක් කරනවා.  

Tanush Kotian දැවී යද්දී පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණ 28ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ජනිත් ලියනගේ, නිපුන් ධනංජය සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ඊට අමතර ව ලහිරු සමරකෝන් සහ ගරුක සංකේත් කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 317 (50.0) Vaibhav Sooryavanshi 40, Abhishek Sharma 78, Tilak Varma 53, Kumar Kushagra 21, Shahbaz Ahmed නොදැවී 54, Tanush Kotian 28, රවිඳු ප්‍රනාන්දු 2/60, ජනිත් ලියනගේ 2/37, නිපුන් ධනංජය 2/41
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 318 (41.3) ලසිත් කෲස්පුල්ලේ 116, සිනෙත් ජයවර්ධන 105, නිශාන් මදුශ්ක නොදැවී 58, පවන් රත්නායක නොදැවී 31

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.   

තරගයේ වීරයා – සිනෙත් ජයවර්ධන (ශ්‍රී ලංකාව) 

ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<