Reds අපරාජිතව පළමු තැන රැකගනී

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

379

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය අද (6) කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එහි දී හර්ශිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් Greys කණ්ඩායම Blues කණ්ඩායමට එරෙහිව ලකුණු 48ක ජයක් ලබා ගන්නා විට, නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුත් Reds කණ්ඩායම Greens හමුවේ ලකුණු 3ක තියුණු ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල අපරාජිතව සිටින්නට සමත් වුනා.

Reds සහ Greens තරගයේ කාසියේ වාසිය දිනා ගත් Reds පළමුව පන්දුවට පහර දුන්නා. එහි දී නිලක්ෂි ලබා ගත් වේගවත් අර්ධ ශතකය සවියක් කර ගනිමින් Reds කඩුලු 7ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තා.

පන්දු 51ක් තුල වාර්තා වූ නිලක්ෂිගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත් වුනා. තාරිකා සෙව්වන්දි නොදැවී ලකුණු 22*ක් ලබාගෙන පසුපෙළ සවිමත් කළ අතර පන්දු යැවීමේ දී නිමාෂා මදුශානි සහ කාව්‍යා කාවින්දි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම දියත් කළ Greens වෙනුවෙන් අනුෂ්කා සංජීවනී ලබා ගත් ලකුණු 26 ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය වුනා.

අවසානයේ දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පියුමි වත්සලා (ලකුණු 21*) සමඟ එක්වූ කාව්‍යා කාවින්දි (ලකුණු 20*) නොදැවී ලකුණු 35*ක සබඳතාවයක් ගොඩනංවමින් තියුණු සටනක් ලබා දුන් නමුත්, එම සබඳතාවය ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

පන්දු යැවීමේ දී තාරුකා ශෙහානි ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.

දිනයේ පැවැත්වුණු දෙවැනි තරගය වුනු Greys සහ Blues තරගය සඳහා Blues පිටියට පිවිසියේ සත්‍යා සංදීපනීගේ වැඩබලන නායකත්වය යටතේයි.

එහි දී කාසියේ වාසිය දිනා ගත් Greys නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා.

තරගයේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුණු හර්ශිතා පන්දු 52ක් තුල 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 43ක් ලබාගෙන නායකත්වයේ ඉනිමක් දියත් කළා.

අංක 3 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා විශ්මි ගුණරත්න පන්දු 31ක් තුල ලකුණු 34ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ඉනෝකා රණවීර කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

කෙසේ නමුත් Blues නිත්‍ය නායිකා චමරි අතපත්තු නොමැති වීම නිසා ලිහිණි අප්සරා සහ රශ්මිකා සෙව්වන්දි ඉනිම ආරම්භ කළා.

අප්සරා පන්දු 32ක දී ලබා ගත් ලකුණු 17 හැරෙන්නට ඔවුන්ගේ අනෙක් එකඳු පිතිකාරිනියක් හට හෝ ලකුණු 13 සීමාව ඉක්මවා යන්නට හැකියාව ලැබුණේ නැහැ.

දක්ෂ පන්දු යැවීමක නිරත වුනු දකුණතින් පිට දඟපන්දු යවන ඉනෝශි ප්‍රනාන්දු මේ තරගයේ දී කඩුලු 3ක දස්කමක් දක්වමින් තරගාවලිය පුරාවට දැනට කඩුලු 7ක් දවාගෙන එහි පළමු තැන දිනා ගන්නට සමත් වුනා.

Reds සහ Greens තරගය

  • Reds – 115/7 (20): නිලක්ෂි ද සිල්වා 61, තාරිකා සෙව්වන්දි 22*, නිමාෂ මදුශානි 2/17, කාව්‍යා කාවින්දි 2/27.
  • Greens – 112/4 (20): අනුෂ්කා සංජීවනී 26, පියුමි වත්සලා 21*, තාරුකා ශෙහානි 3/14.

Reds කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක්

Greys සහ Blues තරගය

  • Greys – 114/5 (20): හර්ශිතා සමරවික්‍රම 43, විශ්මි ගුණරත්න 34, ඉනෝකා රණවීර 2/18
  • Blues – 66/7 (20): ලිහිණි අප්සරා 17, ඉනෝශි ප්‍රනාන්දු 3/05

Greys කණ්ඩායමට ලකුණු 48ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<