නිලක්ෂි සහ ප්‍රසාදිනීගේ සබඳතාවයෙන් ජය Redsට

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

193
Sri Lanka Cricket

2022 කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය අද (8) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

අද පැවති Reds සහ Blues අතර තරගයෙන් ලකුණු 25 ජයක් ලබා ගන්නට Reds සමත් වූ අතර, Greys සහ Greens අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Blues නායිකා චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Reds කඩුලු 4ක් දැවී ලකුණු 113ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වුනු නායිකා නිලක්ෂි ද සිල්වා අද මේ තරගාවලියේ ඇය විසින් ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කළා.

ආරම්භක කඩුලු රකින පිතිකාරිණිය වන ප්‍රසාදිනී වීරක්කොඩි 4 පහර 2ක් එල්ල කරමින් ලකුණු 32ක් ලබා ගත්තා. ලකුණු 3කට කඩුලු 2ක් දැවී ගොස් තිබිය දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් නිලක්ෂි සහ ප්‍රසාදිනී එක්ව ගොඩනැංවූ ලකුණු 81 සබඳතාවය නොවන්නට Reds විශාල පීඩනයකට ලක්වන්නට ඉඩ තිබුණා. පන්දු යැවීමේ දී අමා කාංචනා ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය Bluesට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 88ක් පමණයි.

සත්‍යා සංදීපනී ලකුණු 32ක් ලබා ගන්නා විට, රශ්මිකා සෙව්වන්දි ලකුණු 21ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී තාරිකා සෙව්වන්දි කඩුලු 3ක් දවා ගන්නා විට, සචිනි නිසංසලා ලකුණු 14ට කඩුලු 2ක් දවා ගත්තා.

  • Reds – 113/4 (20): නිලක්ෂි සිල්වා 51, ප්‍රසාදිනී වීරක්කොඩි 34, අමා කාංචනා 2/25.
  • Blues – 88/8 (20): සත්‍යා සංදීපනී 32, රශ්මිකා සෙව්වන්දි 21, තාරිකා සෙව්වන්දි 3/14, සචිනි නිසංසලා 2/14.

Reds කණ්ඩායමට ලකුණු 25ක ජයක්

මේ තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (9) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<