කාන්තා සුපිරි හතරේ අවසන් සටන Reds සහ Greys අතර

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

588
Women’s Super Four T20 Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා සුපිරි හතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටය ඊයේ (9) නිමා වූ අතර තරගාවලියේ අවසන් මහා තරගයට Reds සහ Greys කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

නිලක්ෂි ද සිල්වා නායකත්වය දරණ Reds සහ හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දරණ Greys අතර  පැවැත්වෙන මේ අවසන් මහා තරගය  ඉරිදා (11) පැවැත්වීමට නියමිතයි.

මේ කණ්ඩායම් දෙක අතර මූලික වටයේ අවසන් තරගය ඊයේ (9) උදෑසන කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එහි දී Greys කඩුලු 8ක පහසු ජයක් අත්කර ගත්තේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුවයි.

>>Photos – Reds vs Greys – Women’s Super Four T20 Tournament 2022<<

දිනයේ පැවති අනෙක් තරගයේ දී Blues නැවත වරක් අසාර්ථක වෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 63ක් පමණක් රැස් කළ අතර Greens ජය ලැබුවේ කඩුලු හතරක් පමණක් දැවී සිය ඉලක්කය හඹා යමිනි.

Reds සහ Greys අතර තරගයේ නැවත වතාවක් Reds නායිකාව නිලක්ෂි ද සිල්වා (ලකුණු 33) සහ Greys නායිකාව හර්ෂිතා සමරවික්‍රම (ලකුණු 26) කණ්ඩායම් දෙකේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාවන් බවට පත්වුනා.

Greens සහ Greys අතර පැවති තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් Blues පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 63ක් පමණක් රැස් කළ අතර පිළිතුරු ලෙස Greens පන්දුවාර 12.5ක දී කඩුලු 4ක් දැවී ලකුණු 64ක් රැස් කරමින් කඩුලු හයකින් ජය ගත්තේ තවත් පන්දු 43ක් ඉතිරිව තිබිය දීයි.

Blues නායිකාව චමරි අතපත්තු මේ තරගයට සහභාගී නොවූ අතර කණ්ඩායමට ඒ නිසාවෙන් නායකත්වය දුන්නේ සත්‍යා සංදීපනී. Blues ක්‍රීඩිකාවන් ඉනිම ආරම්භයේ සිටම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අතර ලකුණු දහයේ සීමාව ඉක්මවූයේ, ආරම්භක පිතිකාරිණි ලිහිණි අප්සරා පමණයි. ඇය පන්දු 30ක දී හතරේ පහරක් සමඟ ලකුණු 17ක් ලබා ගත්තා.

Greens ලකුණු 64ක් වූ ජයග්‍රාහී ඉලක්කය කරා පහසුවෙන්ම ගියේ කඩුලු හයක් සහ පන්දුවාර 7කුත් පන්දුවක් ඉතිරිව තිබිය දීයි.

එහි දී Greens නායිකා ඕෂදි රණසිංහ පන්දු 21ක දී නොදැවී ලකුණු 16*ක් ද, හසිනි පෙරේරා පන්දු 15ක දී හතරේ  දෙකක් සමඟ ලකුණු 14ක් ද, අනුෂ්කා සංජීවනී පන්දු 13ක දී ලකුණු 10ක් ද ලබා ගත්තා.

Reds සහ Greys අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී උදයවරුවේ පැවති තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් Reds නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 106ක් රැස් කළා.

Greys කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ වර්ෂාව පතිත වූ නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට (D/L) අනුව ඔවුන්ට පන්දුවාර 12ක් තුල ලකුණු 59ක ඉලක්කයක් සිය ජයග්‍රහණයට අවශ්‍ය වුනු අතර Greys කඩුලු 2ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

ලකුණු සාරාංශ,

  • Reds – 106/5 (20): නිලක්ෂි ද සිල්වා 33, නෙත්මි සේනාරත්න 27, ප්‍රසාදිනි වීරක්කොඩි 18, මල්ෂා මධුෂානි 2/20, හංසිමා කරුනාරත්න 1/26.
  • Greys – 59/2 (11.5): හර්ෂිතා සමරවික්‍රම 26, ඉමල්කා මෙන්ඩිස් 23, තාරිකා සෙව්වන්දි 1/24, තාරුකා ෂෙහානි  1/06.

Greysට කඩුලු 8ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

  • Blues – 63/7 (20):  ලිහිණි අප්සරා 17, උදේශිකා ප්‍රබෝදිනී  2/09, ඕෂදි රණසිංහ 2/11.
  • Greens – 64/4 (12.5): ඕෂදි රණසිංහ 16*, හසිනි පෙරේරා 14,  චමරි ලක්ෂානි 3/21.

Greensට කඩුලු හයක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<