නාලන්දා සහ ධර්මාශෝක කණ්ඩායම් දැවැන්ත ජයග්‍රහණවලට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

527

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග 4ක් ඊයේ (12) පැවැත්වුනා.

එම තරගවල දී නාලන්දා සහ ධර්මාශෝක විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් වුනු අතර තවත් තරග දෙකක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයකින් තොරව නිමා වුනා.

ධර්මාශෝක විද්‍යාලයේ රන්දුල් සමරහේවා (ලකුණු 80), මලියදේව විද්‍යාලයේ රිෂි අධිෂ්ටාන් (ලකුණු 57) සහ ධර්මාශෝක විද්‍යාලයේ නායක සසිඳු මල්ෂාන් (ලකුණු 51) අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

ඊට අමතරව නාලන්දා විද්‍යාලයේ චනුල අතුකෝරල (4/14) සහ සහිරා නායක ආදිල් ඉස්මරලි (4/57) යන ක්‍රීඩකයින් කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ පන්දු යවන්නන් බවට පත් වුනා.

නාලන්දා සහ සාන්ත ආනා විද්‍යාල අතර පැවති තරගයේ දී දකුණතින් වේගපන්දු යවන චනුලගේ සුපිරි පන්දු යැවීම නිසාවෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත ආනා ඉනිම ලකුණු 83කට සීමා කරගැනීමට නාලන්දා විද්‍යාලයට හැකි වුනා.

එම ඉලක්කය පන්දුවාර 26කුත් පන්දු 2ක් තුල කඩුල්ලක් පමණක් දැවී සපුරා ගත් නාලන්දා ක්‍රීඩකයින් අමතර ප්‍රසාද ලකුණක් ද දිනාගෙන තරගය ජයග්‍රහණය කරමින් Tier A කොටසේ Y කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන සිටින්නේ අපරාජිතාවයි.

දිනයේ ප්‍රතිඵලයක් සහිතව අවසන් වුනු දෙවැනි තරගයේ දී සහිරා විද්‍යාලය පරාජය කරමින් පැරබෝලා ක්‍රමයට ලකුණු 69ක ජයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් වුනේ අමතර ප්‍රසාද ලකුණක් ද සමඟිනුයි.

Tier A

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ආනා විද්‍යාලය – 83 (33.4): ශෙවෝන් නිමන්ත 43, චනුල අතුකෝරල 4/14.

නාලන්දා විද්‍යාලය – 84/1 (26.2): විනුජ රන්පුල් 39*, යසිරු සමරකෝන් 30*.

නාලන්දා විද්‍යාලයට කඩුලු 9ක ජයක්

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 143/8 (40): මුයිස් නවුශාන් 32, කැනිස්ටන් ගුණරත්නම් 25, නවිජ ද සේරම් 2/19, සිනෙත් දිසානයක 2/22.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 59/1 (16): හරිඳු ජයසේකර 32

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මලියදේව ක්‍රීඩාංගණය

මලියදේව විද්‍යාලය – 205/9 (50): රිෂි අධිෂ්ටාන් 57, ගයාන් වීරසිංහ 37, ජයමිණ මුතුකුමාරණ 34, මනුල කුලරත්න 3/36.

ත්‍රිත්ව විද්‍යාලය – 64/1 (14): විභවිත් ඇහැලේපොල 30*, විදුක ධම්මගේ 21*

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්.


Tier B

කොළඹ සහිරා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ධර්මාශෝකවිද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සහිරා ක්‍රීඩාංගණය

ධර්මාශෝකවිද්‍යාලය – 254 (47): රන්දුල් සමරහේවා 80, සසිඳු මල්ෂාන් 51, නවීන් රසාංග 35, ආදිල් ඉස්මරලි 4/57, රායිඩ් රිස්වාන් 3/47.

සහිරා විද්‍යාලය – 110/6 (26): රායිඩ් රිස්වාන් 40*, මොහොමඩ් ආතිබ් 22, සෙනුර සඳරු 2/18.

පැරබෝලා ක්‍රමයට අනුව ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 69ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<