ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව කලින්ම ගෙදර යවයි!

South Africa vs Australia 2018

403

BCCI විසින් හිටපු ඉන්දීය වේගපන්දු යවන්නකු වන Chetan Sharmaගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය තේරීම් කමිටුව (පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ) ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික තේරීම් කමිටුවේ සභිකයින් පස්දෙනා සඳහා අයදුම්පත් කැඳවන බවත්, අවසන් දිනය වන නොවැම්බර් 28ට පෙර ඒ වෙනුවෙන් අයැදුම් පත් එවන ලෙසත් සඳහන් කරමින් BCCI විසින් ඊයේ (18) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

පසුගිය ඔක්තෝබරයේ නිතරගයෙන් BCCI පරිපාලනය බාර ගනු ලැබූ Roger Binnyගේ ප්‍රධානීත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ ප්‍රථම ප්‍රධාන තීරණය වන්නේ මෙයයි.

නමුත් මේ දිනවල ඉන්දියාව පුරා පැවැත්වෙන Vijay Hazare තරගාවලිය නිරීක්ෂණය කරමින් සිටින Sunil Joshi, Harvinder Singh, Debasis Mohanty සහ Chetan Sharma යන තේරීම් කමිටු සාමාජිකයින් සිව්දෙනාට BCCI හි මෙම නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ කිසිදු දැනුම් දීමක් ලැබී නොමැති බව ESPNcricinfo විසින් වාර්තා කරනවා.

මෙම ඉවත් කිරීමට හේතුව කුමක් ද යන වග BCCI විසින් සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර නොමැති නමුත්, පසුගිය විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් සහ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කණ්ඩායම් තරගවලින්ම ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඉවතට විසි වීම හේතුවෙන් මෙම තීරණය ගන්නට ඇති බව සැක කළ හැකියි.

එමෙන්ම හිටපු ඉන්දීය වේගපන්දු යවන්නකු වන Abey Kuruvilla ද මෙම තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස 2021 වසරේ අග භාගය වන තෙක් කටයුතු කළ අතර, ඔහුගේ උපරිම සාමාජික කාලය (වසර 5) ඉක්මවා යාම හේතුවෙන් ඔහු ඉන් ඉවත් වුනා.

ඉන්පසුව ඔහුට BCCI හී ක්‍රිකට් සංවර්ධන සාමාන්‍යාධිකාරී තනතුරට පත්වීම් ලැබුණා. එම නිසා තේරීම් කමිටු සාමාජිකයින් ගණන හතරක් දක්වා අඩු වූ නමුත් Abey Kuruvilla වෙනුවට මේ වන තෙක් කිසිදු ආදේශයකයෙක් පත් කළේ නැහැ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලිය අතර මැද්දේ තේරීම් කමිටුව විසින් මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් මෙන්ම, ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරය සඳහාත් ඉන්දීය සංචිත නම් කළා.

මෙම සිදුවීම බොහෝ දෙනෙක් තරමක් පුදුමයට පත් කරන ලද එකක් වූයේ, එකම කාලයක තරගාවලි දෙකක් සඳහා සංචිත නම් කිරීම තරමක් අසාමාන්‍ය වූ නිසායි.

තම නිල ධුර කාලය අවසන් වීමට ආසන්නයේ සිටි Mohanty හැරෙන්නට ඉතිරි තිදෙනාටම ආසන්න වශයෙන් තවත් අවුරුදු දෙකක පමණ කාලයක් තේරීම් කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ද ඉතිරි ව තිබුණා.

එම නිසා මේ තිදෙනාට ද නැවතත් තේරී කමිටු සාමාජිකත්වය සඳහා අයැදුම්පත් යොමු කිරීමට හැකියාව පවතින අතර, ඒ සඳහා අවැසි සුදුසුකම් වන්නේ අවම වශයෙන් ටෙස්ට් තරග 7ක් හෝ, පළමු පෙළ තරග 30ක් හෝ, එක්දින තරග 10ක් සහ පළමු පෙළ තරග 20ක් ක්‍රීඩා කර තිබීමයි.

එමෙන්ම ඔවුන් අවම වශයෙන් මීට වසර පහට පෙර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන තිබීම ද අනිවාර්ය කාරණයක්. ඊට අමතරව ඔවුන් BCCI හී හෝ වෙනත් කිසිදු ක්‍රිකට් කමිටුවක වසර පහක් සේවය කර නොතිබීම ද අනිවාර්ය වනවා.

තවත් මෙවැනි ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<