ප්‍රේක්ෂක කලබල හමුවේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වෙයි

24276

2019 ලෝක කුසලානය දිනෙන් දින උණුසුම් වන අතර කාණ්ඩ වටයේ අවසන් තරග කීපය මේ දිනවල පැවැත්වේ. ඊයේ (29) පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. 

පාකිස්තානය අමාරුවෙන් ඇෆ්ගනිස්තානය පරාජය කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙඩින්ග්ලි ලීඩ්ස් හිදි අද (29)…..

හෙඩින්ලි හි පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 තුල දී කඩුලු 9ක් දැවී ලකුණු 228 ක් ලබා ගත්තේය. පාකිස්තානය විටෙක කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා සිටි අතර ඉමාඩ් වසීම්ගේ නොදැවුනු ලකුණු 49 පාකිස්තානයට ජයග්‍රහණය අත්කරදීමට සමත් විය. මෙම තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය තුලට පැමිණි අතර එම නිසාවෙන් ආරක්ෂාකාරීව ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශවලට සිදු විය. 

තරගයට පෙර සිටම ප්‍රේක්ෂකයන් අතර යම් යම් කලහකාරී සිදුවීම් කීපයක් දක්නට ලැබීම අවාසනාවන්ත කාරණයකි. එම ගැටුම් පාලනය සඳහා පොලීසියට මැදිහත් වීමට සිදු විය. 

තරගයෙන් අනතුරුව මෙම ජයග්‍රහණය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් සෆ්‍රාස් අහමඩ්ගෙන් විමසා සිටියා. පිළිබඳව අදහස් දැක්වූ පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් පවසා සිටියේ මෙම ජයග්‍රහණය සාමාන්‍ය ජයග්‍රහණයක් ලෙස නොව ‘විශිෂ්‍ට ජයග්‍රහණයක්’ ලෙස සලකන බවයි. 

“මේක අපි ලබපු විශිෂ්ට ජයග්‍රහණයක්. මේ තණතීරුව එතරම් පහසු එකක් වුනේ නෑ. අපි දැනගෙන හිටියා ඒක අමාරු ඉලක්කයක් කියලා. ඔවුන්ගේ පන්දු ‍යවන්නන් මේ තත්ත්ව වලට හොඳින් ගැලපුනා. අපේ හැමෝම එකට ක්‍රීඩා කරලා ජයග්‍රහණය ලබාගත්තා. ඒක ලොකු කණ්ඩායම් ක්‍රියාවක් “

තරගාවලියේ ආරම්භක තරග 5 පාකිස්තානයට එතරම් සුබදායක නොවීය. තරගාවලියේ මුල් තරග 5 දී ඔවුන් ජයග්‍රහණය කළේ තරගයක් පමණි. නමුත් ඔවුන් අවසන් තරග තුනම ජයග්‍රහණය කරමින් මේ වන විට ලකුණු සටහනේ 4 වැනි ස්ථානයට පැමිණ ඇත. ඒ සත්කාරක එංගලන්තය 5 වැනි ස්ථානයට ඇද දමමිනි. එංගලන්තයට අවසන් පූර්ව වටයට යාමට නම් ඉන්දීය හා නවසීලන්ත තරගවලින් අවම වශයෙන් එක් තරගයක් හෝ තරග දෙකම ජයග්‍රහණය කළ යුතුය. 

“අපි හැමෝම දන්නවා අවසන් තරඟ හතර ජයග්‍රහණය කරන එක ලේසි නෑ. අපි තරගයෙන් තරගය ක්‍රීඩා කරනවා.”

පාකිස්තානය කාණ්ඩ වටයේ අවසන් තරගය සඳහා බංග්ලාදේශය සමඟින් තරගවැදීමට නියමිතය. 

“අපි හැමෝම හෙට එංගලන්ත ඉන්දියා තරගය බලනවා” සෆ්‍රාස් කියා සිටියා. 

තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරක දී ඇෆ්ගනිස්තාන නායක ගුලාබ්දීන් නයීබ් යැවූ පන්දුවාරයක දී ලකුණු 18ක් ලබා ගැනීමට පාකිස්තානය සමත්වූ අතර එය තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් විය. 

“ඒක අවාසනාව. ඒ වගේ දඟ කැවෙන තණතීරුවක පාකිස්තානයට ඒ වගේ ලකුණු ගණනක් හඹායන්න අමාරුයි. ඒ පන්දුවාරය තමයි හැරවුම් ලක්ෂ්‍යය වුනේ.” ගුලාබ්දීන් පවසා සිටියා. 

තරගයේ වීරයා සම්මානය පාකිස්තානයේ ඉමාඩ් වසීම්ට හිමි විය. ඒ ඔහු කඩුලු දෙකක් ද ලබාගෙන තරගයේ තීරණාත්මක ඉනිමට හිමිකම් කී නිසාවෙනි. 

“ගුලාබ්දීන් තමයි අපිට පහර දෙන්න පුළුවන් පන්දු ‍යවන්නා වුනේ. ඇෆ්ගනිස්තානයේ ප්‍රබල දඟපන්දු යවන්නන් ඉන්නවා. ඒ නිසා අපි ඔහුව ඉලක්ක කළා” ඉමාඩ් වසීම් පවසා සිටියා. 

පාකිස්තානයේ 92 කතාව, 2019 නැවත ලියැවේ!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් නවසීලන්තය පැමිණි …

මෙම තරගය පාකිස්තානය ලබාගත් සිව්වැනි ජයග්‍රහණය වේ. මෙම තරග ප්‍රතිඵලයේ තවත් විශේෂ කරුණක් වන්නේ මේ දිනවල කතාබහට ලක්වන 1992 හා 2019 ලෝක කුසලාන ගැලපීම්වලට මෙම ජයග්‍රහණය ද හොඳින් ගැලපීමයි. 

පාකිස්තානය කාණ්ඩ වටයේ අවසන් තරගය සඳහා එළඹෙන ජූලි 05 වැනිදා බංග්ලාදේශය සමඟින් තරග වැදීමට නියමිතයි. ඇෆ්ගනිස්තානය ද මේ වන විට තරග 8ක් ක්‍රීඩා කර ඇති අතර ඔවුන්ගේ අවසන් තරගය කොදෙව් කණ්ඩායම සමඟින් ජූලි මස 4 වැනිදා තරග වදිනු ඇත.

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<