විස්ඩන් නම් කළ ආසියානු කුසලානයේ විශිෂ්ටතම ශ්‍රී ලංකා කණ්ඩායම

Asia Cup 2023

9786

වසර 39ක අතීතයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් 15 වතාවක් පවත්වා ඇති අතර, ඒ වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයින් 11 දෙනා තෝරමින් කණ්ඩායමක් නම් කිරීමට ලෝ ප්‍රකට විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් පියවර ගෙන තිබෙනවා.

එළඹෙන අගෝස්තු 30 වැනිදායින් ආරම්භ වී 16 වැනි වරට පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අරභයා විස්ඩන් සඟරාව විසින් මෙම කණ්ඩායම තෝරා ඇති අතර, මේ අයුරින් ම ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් ද ඔවුන් විසින් තෝරා තිබෙනවා.

මෙතෙක් ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනියට වැඩිම ශූරතා ප්‍රමාණයක් හිමි කර ගත් රට බවට පත් වීමට ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකාව-6, ඉන්දියාව-7) සමත් වී ඇති අතර, මෙතෙක් පැවැත්වුණු තරගාවලිය 15ටම ක්‍රීඩා කළ එකම රට වන්නේ ද ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්.

විස්ඩන් විසින් නම් කළ ආසියානු කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි;

සනත් ජයසූරිය

ලකුණු:1220, සාමාන්‍ය: 53.04 ප්‍රහාරාත්මක වේගය: 102.52, ශතක 6, අර්ධ ශතක 3

කඩුලු 22, සාමාන්‍ය 30.31

ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා සහ ශතක ලාභියා වන ජයසූරිය ආසියානු කුසලාන තරගවල හත්වැනියට ඉහළ ම කඩුලු ලාභියා ද වනවා.

ලහිරු තිරිමාන්න

ලකුණු: 363, සාමාන්‍ය: 45.37, ප්‍රහාරාත්මක වේගය: 76.10, ශතක 2

2014 ආසියානු කුසලානයේ ඉහළ ම ලකුණු ලාභියා සහ තරගාවලියේ වීරයා වූ ලහිරු තිරිමාන්න මෙම තරගාවලිය තුළ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ඉනිම් පහේ දී සිය පිතිකරණ සාමාන්‍ය 55.80ක් වැනි ඉහළ අගයක රඳවා ගෙන තිබෙනවා.

කුමාර් සංගක්කාර

ලකුණු: 1075, සාමාන්‍ය: 48.86, ප්‍රහාරාත්මක වේගය: 84.51, ශතක 4, අර්ධ ශතක 8

ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වන සංගක්කාර සිය ශතක හතරෙන් තුනක් ම ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර තිබීම විශේෂත්වයක්.

අරවින්ද ද සිල්වා

ශතක: 645, සාමාන්‍ය: 32.35, ප්‍රහාරාත්මක වේගය: 83.44, අර්ධ ශතක: 4

කඩුලු: 5, සාමාන්‍ය:55.60

අරවින්ද ආසියානු කුසලාන තුළ අංක හතර පිතිකරු ලෙස සිය පිතිකරණ සාමාන්‍ය 36.90ක රඳවා ගැනීමට සමත් වී ඇත්තේ ප්‍රහාරාත්මක වේගය 91ක් වැනි ඉහළ අගයකට රඳවා ගනිමිනුයි. එමෙන්ම ඔහු අවශ්‍ය ඕනෑම මොහොතක පන්දු යවන්නෙකු ලෙස ද කටයුතු කිරීමට සූදානම් ක්‍රීඩකයකු වීම විශේෂත්වයක්.

ඇන්ජලෝ මැතිව්ස්

ලකුණු: 331, සාමාන්‍ය: 82.75, ප්‍රහාරාත්මක වේගය : 82.33, අර්ධ ශතක3

කඩුලු: 4,සාමාන්‍ය: 37

සිය ආසියානු කුසලාන ඉනිම් දහයෙන් ඉනිම් හයක් තුළ නොදැවී සිටීමට සමත් වී ඇති මැතිව්ස් විශේෂයෙන්ම ඉනිම අවසන් කරන්නෙකු ලෙස විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වී තිබෙනවා.

අර්ජුන රණතුංග

ලකුණු: 741, සාමාන්‍ය: 57, පිතිකරණ සාමාන්‍ය: 82.79, ශතක 1, අර්ධ ශතක 6

කඩුලු: 11, සාමාන්‍ය: 24.81

තරගාවලි ඉතිහාසයේ හය වැනි ඉහළ ම ලකුණු ලාභියා වන රණතුංග 1997 තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභියා බවට පත් වෙමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

තිසර පෙරේරා

ලකුණු: 85, සාමාන්‍ය: 21.25, ප්‍රහාරාත්මක වේගය: 72.03

කඩුලු: 11, සාමාන්‍ය: 27.81

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් කඩුලු 5 අවස්ථාවක් ද සහිතව පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දක්වා ඇති තිසර සතු ප්‍රහාරාත්මක පිතිකරණ හැකියාව නිසා රවී රත්නායකට ඉහළින් තිසර මෙම ස්ථානයට යෝජනා කරන බවයි විස්ඩන් සඳහන් කරන්නේ.

චමින්ද වාස්

ලකුණු: 129, සාමාන්‍ය: 16.12, ප්‍රහාරාත්මක වේගය: 75.88

කඩුලු: 23, සාමාන්‍ය: 27.78

තරගාවලියේ පස්වැනියට වැඩිම කඩුලු ලාභියා වන වාස් ආසියානු කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉනිම් හතරක දී හැරෙන්නට අනෙක් සෑම ඉනිමක දීම (ඉනිම් 19ක් අතුරින්) කඩුලු දවා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්.

අජන්ත මෙන්ඩිස්

කඩුලු: 26, සාමාන්‍ය: 10.42

ඉනිම් 8ක් තුළ මෙම කඩුලු ප්‍රමාණය දවා ගැනීමට සමත් වී ඇති මෙන්ඩිස් විසින් මින් කඩුලු 17ක් ම 2008 තරගාවලියේ දී ලබා ගැනීමට සමත් වුනේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා සහ තරගාවලියේ වීරයා බවට ද පත් වෙමිනුයි. එමෙන්ම ඔහු මෙම කඩුලු 26 වෙනුවෙන් කඩුලු 5 හෝ ඊට වැඩි අවස්ථා දෙකක් ඇතුළත් කර ගැනීමට ද සමත් වී තිබෙනවා.

ලසිත් මාලිංග

කඩුලු: 29, සාමාන්‍ය: 20.55

තරගාවලි ඉතිහාසයේ දෙවැනියට ඉහළ ම කඩුලු ලාභියා ලෙස නම සටහන් කර ගැනීමට සමත් වී සිටින මාලිංග කඩුලු පහේ අවස්ථා තුනක් ද මෙම කඩුලු අතර රඳවා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම 2014 ආසියානු කුසලානයේ සම වැඩිම කඩුලු ලාභියා (Saeed Ajmal සමඟ කඩුලු 11 බැගින්) වීමට ද මාලිංග විසින් සමත් වුනා.

මුත්තයියා මුරලිදරන්

කඩුලු: 30, සාමාන්‍ය: 28.83

තරගාවලි ඉතිහාසය තුළ ඉහළ ම කඩුලු ලාභියා වන මුරලිදරන් මෙම කඩුලු 30 අතරට එක් කඩුලු 5 අවස්ථාවක් ද එකතු කර ගැනීමට සමත් වී තිබෙනවා.

ආසියානු කුසලාන ඉතිහාසය තුළ අන් ඕනෑම කණ්ඩායමකට වඩා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සතු වන බව මෙම කණ්ඩායම සමඟ හෙළිදරව් වන කරුණක්.

එමෙන්ම ගිය වසරේ විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වුණු ආසියානු කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් වෙමින් වත්මන් ආසියානු ශූරයින් ලෙස කිරුළු දරා සිටින්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

වත්මන් ආසියානු ශූරයින් ලෙස මෙන්ම ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඇති සිය ගෞරවය වෙනුවෙන් ශ්‍රී ලංකාව 2023 ආසියානු කුසලානය වෙනුවෙන් තරග වදිනු ඇති අතර, එම තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<