ශ්‍රී ලාංකීය මලල කෙළිබිමේ යකඩ සෙබලිය “ලක්ෂිකා”

291

රයිගම් කොරළයෙන් මලල කෙළිබිමට පිවිසි ලක්ෂිකා සුගන්ධි නිමා වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. මේ ඇය එතෙක් ආ ගමන ගැන ThePapare.com තබන සටහනකි.

අරුණ, ඩිල්ෂි, සුගන්ධි සහ හෂිනි බරටම රන් දිනයි

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී ………..

හොරණ, ගෝනපොල ගම් ප්‍රදේශය ලක්ෂිකාගේ උපන් බිමයි. වැඩිමහලු සහෝදරයෙක් සහ සහෝදරියෙක්ගෙන් යුත් පවුලේ බාලයා වූයේ ලක්ෂිකා. මේ නිසා ගෙදර කාගේත් ආදරය මැදින් ලක්ෂිකා කුඩා කාලය ගෙවා දැම්මා. 

එහෙත් මේ ආදරයම දෝ ලක්ෂිකාගේ ජීවන චර්යාව ටිකක් විතර හිතුවක්කාර බවක් ද නිවැසියන්ට දැණුනා. ඇය මොනම මොහොතකවත් එකතැන තියාගැනීමේ හැකියාව කිසිවෙක්ටත් තිබුණේ නැහැ. ගෙදර සිටිය ද ඇයගේ හෙමින් ගමනක් තිබී නැහැ. ඒ වගේම ඇඳ, පුටු, මේස මත නැගීමත් ඉන් පැනීමත් ඇයගේ ගෙදර සෙල්ලම් වුනා. මේ නිසා දෙමාපියන් නිතරම සිටියේ කුඩා ලක්ෂිකා ගැන සෙවිල්ලෙන්. 

මේ තත්ත්වය ලක්ෂිකා ගෝනපොල, පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයට ගිය පසු වැඩි වුනා. ඇය පොත පතට වඩා ඇලුම් කරන්න ගත්තේ ක්‍රීඩාවට. පාසලේ ගුරුවර ගුරුවරියන් ද මේ ගැන දෙමාපියන් දැනුවත් කළේ වරක් දෙවරක් නොවේ. මේ නිසා ලක්ෂිකා දඬුවම් ලැබූ වාර ද අනන්තයි. එහෙත් මේ කිසිවකින් ලක්ෂිකාගේ දාංගලේ අඩු කරන්න නම් බැරි වුනා. 

ලක්ෂිකා පාසලේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වුනා. එහෙත් ඒ ටික කාලයකට පමණයි. ඇය ටිකෙන් ටික ක්‍රීඩා කටයුතුවලට වඩා අධ්‍යාපන කටයුතුවලට නැඹුරු වුනා. ඇයට අවශ්‍ය වුනේ පාසල් කාලයෙන් පස්සේ සුදුසු රැකියාවක් කරන්න. ඊට ක්‍රීඩා සහතික දෙක තුනක් එකතු කර ගැනීම තමයි ඇයගේ එකම බලාපොරොත්තුව වුනේ. 

ඇය ක්‍රීඩාව කෙසේ වෙතත් පළමුවෙන්ම තමන් කැමැත්තෙන් සිටි රැකියාවක් තෝරා ගත්තා. ඒ යුද හමුදාවේ සාමාන්‍ය සෙබලියක් ලෙසින්. නමුත් දෙයක් වේ නම් හිමි, එය සුදුස්සාටම අයිති විය යුතුය කියමන සනාථ කරමින් ලක්ෂිකා අහම්බෙන් යුද හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. එහි දුර පැනීමේ ඉසව්වෙන් ඇය ලබා ගන්නා ස්ථානය තෙවැන්නයි. එම දක්ෂතාත් සමග ඇය වසන්ත කුමාර නමැති පුහුණුකරු වෙත යොමු වෙනවා. 

ලක්ෂිකා සුගන්ධි නමැති යකඩ දියණිය බිහි වන්නේ ඊට පසුවයි. 

සහාය දිවීමට ගොස් දුර පැනීමෙන් රන් දිනූ දිරිය කෙල්ල

පානදුර සුමංගල බාලිකාවෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි සාරංගි සිල්වා ……….

දුර පැනීමෙන් පදක්කම් දිනූ ලක්ෂිකා, වසන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලැබීමෙන් ටික කාලයකින්ම තරග ඉසව් 7කින් යුත් සත් ප්‍රයාම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියනවා. ඒ කිහිප වරක්ම තමන්ගේම වාර්තාව අභිබවා යමින්. 

සාමාන්‍ය සෙබළියක් ලෙසින් ජීවිතය කැප කිරීමට සිටි ලක්ෂිකා සුගන්ධි රටක් වටින ක්‍රීඩිකාවක් වන්නේ යුද හමුදාව හේතුවෙන්මයි. දැනට ශ්‍රී ලංකාවේ සිටින මේ තරම් ඉසව් කරන ක්‍රීඩිකාවක් වෙත්නම් ඒ ඇය ම පමණක් විය යුතුය. ඇය ඒ තරමට ම ධෛර්යවන්ත ක්‍රීඩිකාවක්. 

සත්ප්‍රයාම යනු මීටර් 100 කඩුලු මතින් දිවීම, උස පැනීම, යගුලිය දැමීම, මීටර් 200, දුර පැනීම, හෙල්ල විසිකිරීම, මීටර් 800 යන ඉසව්වන්. මේ සියලු ඉසව් සඳහා සහභාගී වෙමින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගන්නා ක්‍රීඩිකාව සත් ප්‍රයාම ඉසව්වේ ජයග්‍රාහකයා ලෙසින් නම් කරනවා.

එසේම, සත්ප්‍රයාම ඉසව් කරන අතරතුර දී ම සෙසු කේවල ඉසව්වලට ද සහභාගී වෙමින් එහි පදක්කම් දිනා ගැනීමට තරම් ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දින තුනක් තුළ තරග ඉසව් 11කට සහභාගී වෙමින් වාර්තාවක් ද තබනවා. ඒ එතරම් ඉසව් ප්‍රමාණයක් කෙටි කාලයකින් සහභාගී වූ ක්‍රීඩිකාවක් ලෙසින්. 

එසේම එම තරගාවලියේ සත්ප්‍රයාම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව වෙනුවෙන් ඇයගේ හොඳම කාලය ද වාර්තා කරමින් දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගන්නට සමත් වෙනවා.

ලක්ෂිකා සත්ප්‍රයාම ඉසව්වේ ලබා ගත් මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4906ක්. එය ශ්‍රී ලංකා නව වාර්තාවක් බවට පත් වෙන්නේ එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත් ක්‍රීඩිකාවට වඩා ලකුණු 600ක් ලක්ෂිකා ඉදිරියෙන් සිටිමින්. මේ අවසන් ලකුණු පුවරුව පෙන්වන්නේ ලක්ෂිකාගේ දක්ෂතාවන් තව කාලයකට පසු කළ හැකි ක්‍රීඩිකාවක් බිහිව නැති බවක් නොවේ ද? අනෙක් අතට මේ වාර්තාවේ පෙර හිමිකාරීත්වය දැරුවේ ද ලක්ෂිකා වීම විශේෂයි. 

ලක්ෂිකා පළමු වරට ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ පදක්කමක් දිනා ගන්නේ 2016 වසරේ ඉන්දියාවේ පැවති SAG ක්‍රීඩා උළෙලේ දී මීටර් 100×4 සහාය දිවීම ඉසව්වේ කණ්ඩායම නියෝජනය කරමින් ලබා ගත් රන් පදක්කමයි. ඊට අමතරව එම තරගාවලියේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ද ඇය හැකි වෙනවා. 

ඊට අමතරව එම වසරේම පැවති තායි විවෘත ශූරතාවලියේ සත්ප්‍රයාම සහ මීටර් 100 කඩුලු මතින් දිවීමේ ලෝකඩ පදක්කම ඇය සතු කර ගන්නවා. 2017 වසරේ දී කොරියාවේ පැවති විවෘත ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 කඩුලු මතින් දිවීම තරගයේ සිව්වැනි ස්ථානයත්, එම වසරේ ම ඉන්දියාවේ පැවති ග්‍රෑන්ඩ් පික්ස් තරගාවලියේ මීටර් 100×4 ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් කණ්ඩායමේ සාමාජිකාවක් ද වෙනවා. 

ඊට පසුවය ඇය මෙවර නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ගෙල පැලඳ ගැනීමට සමත් වෙන්නේ. ඒ මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් සහ මීටර් 100×4 ඉසව්වෙන් රන් පදක්කම් සහ මීටර් 100 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමයි. මීටර් 100×4 ශ්‍රී ලංකා කණ්ඩායමට ලක්ෂිකා සමඟ සදීපා ඇන්ඩර්සන්, අමාෂා ද සිල්වා සහ සාරංගි සිල්වා ඇතුළත් වුනා. 

මෙවර SAG ක්‍රීඩා උළෙල නිමාවත් සමඟින් ලක්ෂිකා වැඩි අවධානයක් දිනා ගන්නේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නිසා. ඒ මෙහි ආසියානු මට්ටමේ වාර්තාව ද හිමිවන්නේ අප ක්‍රීඩිකාවකට වීම නිසාවෙනි. 

1999 වසරේ කත්මණ්ඩු නුවර පැවති 8 වැනි SAG ක්‍රීඩා උළෙලේ දී ශ්‍රියානි කුලවංශ මෙම තරගය තත්පර 13.12ක කාලයක් නිමා කරමින් එහි වාර්තාව තමන් සතු කර ගන්නවා. එය වසර 20ක් තිස්සේ පවතිනවා. කෙසේ වෙතත් ලක්ෂිකා මෙවර මෙම ඉසව්වෙන් දශක දෙකකට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කම හිමිකර දෙන්නේ තත්පර 13.59ක කාලයක් වැය කරමින්. එම කාලය ඇයගේ හොඳම කාලය වනවා මෙන්ම ඇය ඉදිරියේ දී ශ්‍රීයානි කුලවංශගේ වාර්තාවට එබි බලන්නට බලාපොරොත්තු වෙනවා. 

එසේම ඇය මීටර් 100 කාන්තා ඉසව්වට සහභාගී වෙමින් ලෝකඩ පදක්කම දිනා ගන්නේ තම පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 11.84ක කාලයක් වාර්තා කරමින්. 

හොරණ, ගෝනපොළ ගමේ එහේ මෙහේ දුව පනිද්දී ලක්ෂිකා තමන් අනාගතයේ දී ශ්‍රී ලංකාවේ කතා බහට ලක්වෙන චරිතයක් වන බවට නොසිතන්නට ඇති. එබැවින්ම ඇය ක්‍රීඩාවටත් රැකියාවට මුල් තැන දෙමින් සියලු දේ නිර්මාණය කරන්නේ. එහෙත් එහි ක්‍රීඩාවක් තිබෙන්නට නැත. ඇයම පවසන පරිදි යුද හමුදාවේ දී ඇය ක්‍රීඩාවට පිවිසෙන්නේ අහම්බයෙන්. ඒ ඇයට හිමි දේ ලබා දීමටය. ඇතැම් විට ලක්ෂිකාට මේ අවස්ථාව ලැබීමට වාසනාව බලපාන්නට ඇත යන්න බොහෝ දෙනෙක් සිතනු නොඅනුමානයි. එහෙත් අපට අනුව නම් ඇයට මේ සියලු දේ ලැබෙන්නේ උත්සාහය සහ කැපවීම හේතුවෙන්. එමෙන්ම ඒ පිටුපස සිටි මහා දැවැන්ත වෘක්ෂය වන් වූ වසන්ත කුමාර මහතා හේතුවෙන්. 

අද ඇය ගැන දකුණු ආසියාවම කතා කරද්දී ඇය මේ දිනවල ආසියාව ජය ගැනීමට තම ශක්තිය එක් රැස් කරති. ඒ එළඹෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට සූදානම් වෙමින්. 

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ දී නිමා වූයේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු මලල …….

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණයත් සමඟම ලක්ෂිකා ඇතුළු 7 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. එහි දී ඇය මීටර් 60 කඩුලු හා පංච ප්‍රයාම තරග සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබා සිටිනවා.  මේ නියෝජනයත් සමඟින් ලක්ෂිකා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ද නියෝජනය කිරීමට අවස්ථාව උදා වනු ඇත.

ඒ සඳහා සහභාගී වන සියලු දෙනාට ThePapare.com හී සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<