Pooranට වීරයා සම්මානය සමඟ දඩ සහ දඬුවම් ලකුණු

India Tour Of West Indies 2023

573

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගයේ වීරයා සම්මානය දිනා ගත් Nicholas Pooran හට එහි දී ICC ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් සමත් වූ අතර මෙම තරග දෙකේ දී ම Nicholas Pooranගේ පිත්තෙන් කොදෙව් පිතිකරණ අංශයට විශාල ශක්තියක් එකතු වුනා.

ඇමරිකාවේ දී පැවැත්වුණු Major League Cricket තරගාවලියේ දී MI New York නියෝජනය කරමින් විශිෂ්ට පිතිකරණ දක්ෂතා පෙන්වමින් (අවසන් මහා තරගයේ දී ප්‍රවේගකාරී ශතකයක් ද රැස් කරමින්) සිටි Pooran එම රිද්මය නොකඩවා පවත්වා ගනිමින් ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ අවසන් ඉනිම් දෙක තුළ ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වුනා.

එයින් ලකුණු 67ක්ම පසුගිය 06 වැනිදා (ඉරිදා) පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයේ දී වාර්තා වූ අතර එම ඉනිම නිසා ඔහුට එම තරගයේ වීරයා සම්මානය ද හිමි වුනා. නමුත් මෙම තරගය අතරතුර දී ICC ආචාරධර්ම සංග්‍රහය කඩ කිරීමේ චෝදනාවක් Pooran හට එල්ල වී තිබෙනවා.

ජාත්‍යන්තර තරගයක සිදුවීමක් ප්‍රසිද්ධියේ විවේචන කිරීම සම්බන්ධයෙන් වන ICC ආචාරධර්ම සංග්‍රහයේ 2.7 වගන්තිය කඩ කිරීම Pooranගේ වරද ලෙසයි සඳහන් වී තිබෙන්නේ.

මෙම තරගයේ ඉන්දීය ඉනිමේ සිව්වැනි පන්දුවාරය තුළ පැහැදිලිව ම නොදැවෙන බව හැඟෙන තීරණයක් සඳහා විනිසුරු තීරණ නැවත සලකා බැලීමක් පිළිබඳ Pooran විසින් තරග විනිසුරුවරයන් විවේචනය කර ඇති අතර පසුව එය පිළිබඳ ව තරගයට සම්බන්ධ විනිසුරුවරුන් සිව් දෙනා සහ තරග තීරක විසින් විමර්ශනය කර තිබෙනවා.

ඒ අනුව Pooran විසින් මෙහි දී සිය වරද පිළිගනිමින් සිය දඬුවම් සඳහා එකඟ වී තිබෙනවා.

මේ අනුව ඔහුට සිය තරග ගාස්තුවෙන් 15%ක් සහ එක් දඬුවම් ලකුණක් හිමි වී ඇති අතර මෙම දඬුවම් ලකුණ පසුගිය මාස 24ක කාලය පුරාවට ඔහුගේ විනය වාර්තාවට එක් වූ එක ම දඬුවම් ලකුණ ලෙසයි සටහන් වී ඇත්තේ.

මේ අතර ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<