ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු මූලික සංචිතය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

2339
Pat Cummins confirmed as captain as Australia

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියා මූලික සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.  

මෙම සංචිතයට Marnus Labuschagne ඇතුළත් කර නොමැති අතර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins හටයි.  

මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර එම සංචිතය දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන බව ද ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.  

එම තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ලෝක කුසලානය සඳහා සහභාගී වන අවසන් 15 දෙනාගේ සංචිතය නම් කිරීමට සූදානමින් පසු වන බව ද ඔවුන් ප්‍රකාශ කළා. 

අළුබඳුන තරගාවලිය අතරතුර සිදු වූ ආබාධයක් නිසා Cummins හට මෙවර ලෝක කුසලානයට සහභාගී වීම අවිනිශ්චිතව තිබූ නමුත් ඕස්ට්‍රේලියා තේරීම් කමිටු නිලධාරි George Bailey ප්‍රකාශ කළේ ඔහුට සති හයක පමණ විවේකයක් ප්‍රමාණවත් බව සහ දකුණු අප්‍රිකා තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කරන බවයි. 

“ලෝක කුසලානය පෙර Pat Cumminsට අවශ්‍ය විවේකය ලබා දීම අත්‍යවශ්‍ය දෙයක්. ලෝක කුසලානයට කලින් අපිට තවත් තරග ඉතිරිව තිබෙන නිසා ඔහුට සූදානම් වෙන්න කාලය තියෙනවා.”  

Pat Cummins අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ වන අතර ඔහු එක්දින නායකයා ලෙස කටයුතු කර ඇත්තේ තරග දෙකක දී පමණයි.  

මෙම කණ්ඩායම සඳහා ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක Marnus Labuschagne ඉඩක් හිමිව නැති අතර මෙම වසරේ පැවති ඉන්දීය තරගාවලිය නියෝජනය කළ ඔහු එක්දින තරග 30ක් ඕස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙනවා. 

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය සැප්තැම්බර් 07 ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එයින් පසුව ඔහු ඉන්දියාව සමඟ එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි. 

ලෝක කුසලානය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මූලික සංචිතය: Pat Cummins (C), Sean Abott, Ashton Agar, Alex Carey, Nathan Ellis, Cameron Green, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Tanveer Sangha, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa. 

දිනෙන් දින උණුසුම් වන එක්දින තරග පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<