2023 ආසියා කුසලානයෙන් කොටසක් ශ්‍රී ලංකාවේ?

Asia Cup 2023

813
DUBAI, UNITED ARAB EMIRATES - OCTOBER 24: Babar Azam of Pakistan and Virat Kohli of India interact ahead of the ICC Men's T20 World Cup match between India and Pakistan at Dubai International Stadium on October 24, 2021 in Dubai, United Arab Emirates. (Photo by Michael Steele-ICC/ICC via Getty Images)

2023 ආසියානු කුසලානයට සත්කාරකත්වය සැපයීමට පාකිස්තානය සමඟ තවත් එක් රටකට අවස්ථාව හිමි වනු ඇති බවත්, එම අනෙක් රට ශ්‍රී ලංකාව බවට පත්වීමට ඉඩ ඇති බවත් ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරනවා.

මෙවර ආසියා කුසලානයට සත්කාරකත්වය සැපයීමේ නිල අයිතිය පාකිස්තානයට හිමි වී ඇති නමුත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය නොකරනු ඇති බව පැවසීමත් සමඟ මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ ගැටලුවක් ඇති වුනා.

BCCI හී ලේකම් ධුරය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධානත්වය ද හොබවන Jay Shah විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ආසියානු කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙනු ඇති බවට සිදු කළ ප්‍රකාශයක් සමඟින් මෙම ගැට‍ලුවේ ආරම්භය සිදු වූ අතර, පසුව එවකට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල (PCB) සභාපතිව සිටි Ramiz Raja විසින් එයට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට අහිමි වේ නම් තමන් තරගාවලියෙන් ඉවත් වන බවයි. එමෙන්ම ඉන්දියාව පාකිස්තානයට නොපැමිණේ නම් පාකිස්තානය ද ඉන්දියාවේ (2023 ලෝක කුසලානය සඳහා) සංචාරය නොකරන බවට ඔහු අනතුරු අඟවා සිටියා.

පසුව PCB සභාපති ධුරය හිමි වූ Najam Sethi ද සත්කාරකත්වය පාකිස්තානයට හිමි විය යුතු බව පවසමින් PCB ස්ථාවරය වෙනස් නොකළ අතර, BCCI වෙනුවෙන් Jay Shah ද ඉන්දියාවේ ස්ථාවරය එලෙසම පවත්වා ගත්තා.

ඒ අනූව පසුගිය සතියේ මේ පිළිබඳ බහරේන් හී පැවැත්වුණු ACC හමුවේ දී සාකච්ඡා කර තිබූ නමුත් අවසන් මතයකට පැමිණීමට ඔවුන්ට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. පසුව ඩුබායී හිදී තවත් අවිධිමත් සාකච්ඡා වට දෙකක් ද පැවැත්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙහි දී සමස්ත ආසියානු කුසලානයේම සත්කාරක අයිතිය පාකිස්තානය සමඟ හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් සිදු කර ඇතත් PCB වෙතින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ අනුව මෙවර ආසියානු කුසලානය පාකිස්තානය සහ තවත් එක් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමයි අවසන් තීරණය වී ඇත්තේ.

මෙවර ආසියානු කුසලානය මේ වසරේ සැප්තැම්බර් මාසයේ මුල් සති දෙකක පමණ කාලය තුල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි දී තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය එක් කාණ්ඩයක සහ ඉන්දියාව, පාකිස්තානය සහ තවත් සුදුසුකම් ලබන රටක් අනෙක් කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම කාණ්ඩ දෙකේ මුල් ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි කණ්ඩායම 4ක් තෝරා ගන්නා අතර එම කණ්ඩායම් හතර අතර පැවැත්වෙන තරගවලින් පසුව මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

සමස්ත තරගාවලියේ තරග 13ක් පැවැත්වීමට නියමිත අතර, උපරිම වශයෙන් මෙහි දී ඉන්දියාවට (ඔවුන් අවසන් මහා තරගය ද ක්‍රීඩා කරාවි යැයි උපකල්පනය කරමින්) තරග හයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇති.

නමුත් ඉන්දු – පාකිස්තාන අර්බුදය නිසා ඉන්දියාව ක්‍රීඩා කරන සියලු තරග වෙනත් රටක පැවැත්වීමට සිදු වන අතර දැනට ඒ සඳහා යෝජනා වී ඇති නම් වන්නේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ එංගලන්තයයි.

මෙහි දී තරගාවලියට සහභාගී වන සියලු රටවල් මෙන්ම, තරගාවලියේ විකාශකයින් ද එකඟ වන ස්ථානයක්, සංචාරක සැලැස්මක් සහ තරග කාලසටහනක් නිර්මාණය කිරීමට සිදු වේ. එමෙන්ම තරගාවලිය පැවැත්වීමට නියමිත කාලයේ දී සත්කාරකත්වය සඳහා යෝජිත අනෙක් රටවල්වල කාලගුණ තත්වය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව පෙනී යන්නේ අදාළ කාලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන නිසායි.

ඒ අනුව ඉහත සියලුම කරුණු සලකා බැලීමෙන් පසුව පාකිස්තානය සමඟ සම සත්කාරකත්වය දරන අනෙක් රට කුමක් වේ දැයි තීරණය කරනු ඇත.

මෙවර පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 ආකෘතිය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත අතර මෙම තරගාවලියේ පිළිබඳ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<