අතුරු කමිටුවට හතුරු වන අය ගැන කවුරුත් දන්නවා – ක්‍රීඩා ඇමැති – නවීන් දිසානායක

137

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිදු වී ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් ක්‍රිකට් නිලවරණයකට නොගොස් නව ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් තීරණය කරන ලදී.

මෙම තීරණය ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි බොහෝදෙනා තුළ විවිධ ආකාරයෙන් කතා බහට ලක් වුවද පසුගියදා පැවැති අයි. සී. සී. රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන බවට කළ අනතුරු ඇඟවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය යම් අර්බුදයකට තල්ලු කිරීමක් දක්වා වර්ධනය වී ඇත.

මේ පිළිබඳව මතුවී ඇති අලුත්ම තත්ත්වය ගැන කරුණු දැන ගැනීමට අප ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක ඇමතූ විට අමාත්‍යවරයා “මව්බිම”ට කියා සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී. සී.) තීරණය පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම දීමක් කර නොමැති බවත් නව ක්‍රිකට් අතුරුපාලක කමිටුව අද රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරන බවත්ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් පරිපාලනයද ඇතුළුව බොහෝ කාරණා සාකච්ඡා කිරීමට නියමිතව පසුගිය බදාදා (15දා) පැවැති අයි. සී. සී. විධායක සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට ගිය නව ක්‍රිකට් අතුරු පාලක කමිටු සාමාජික නුස්කි මෙහොමඩ් මහතා එම රැස්වීමට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කර බවටද අයි. සී. සී. ය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එසේ ශ්‍රී ලංකා නියෝජිතයා අයි. සී. සී. රැස්වීමට සහභාගි නොවූයේ ඇයි දැයි විමසූ විට “අපෙන් ගිය නියෝජිතයා නිරීක්‍ෂකයෙක් හැටියට පත් කරලා තමයි එම අයි. සී. සී. රැස්වීමට සහභාගි වෙන්න අවස්ථාවක් දුන්නෙ. අපි අයි. සී. සී. යේ පූර්ණ සාමාජිකත්වය දරන රටක් ලෙස නිරීක්‍ෂණ මට්ටමෙන් එම රැස්වීමට සහභාගි වීම නෛතික වශයෙන් අපේ රටට ලොකු අඩුපාඩුවක් වෙයි කියලා හිතපු නිසා රැස්වීමට සහභාගි නොවී ඉන්න අපි තීරණයක් ගත්තා. අපි පූර්ණ සාමාජිකත්වය ඇති රටක් විදියට නිරීක්‍ෂණ මට්ටමෙන් සහභාගි වුණා නම් ඒක අපට අවාසි සහගත ලෙස බලපානවා. නිත්‍ය සාමාජිකයෙක් විදියට අපිට ඒ අයිතිය දෙන්න ඕන කියන ස්ථාවරයෙහි අපි හිටියා. ඒ නිසයි අපි රැස්වීමට ගියේ නැත්තෙ” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසීය.

මින් පෙර 2004 වසරේ සිට 2012 දක්වා ක්‍රිකට් අතුරු පාලක කමිටු 9ක් මඟින් මෙරට ක්‍රිකට් පරිපාලනයන් මෙහෙය වූ වකවානු තිබුණද මෙවන් ආකාරයෙන් අනතුරු ඇඟවීම් එකල අයි. සී. සී. විසින් සිදු නොකරන ලද තත්ත්වයක් තුළ මෙවර පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳව පමණක් මෙසේ තීන්දු ගැනීමට අයි. සී. සී. ය උත්සුක වන්නේ් මන්දැයි විමසූ විට අමාත්‍ය දිසානායක මහතා.

“ඔබලාත් දන්නවා මොනවද මෙතැන වෙන්නෙ” යනුවෙන් පවසමින් කියා සිටියේ වැඩිදුරටත් ඒ ගැන මේ මොහොතේ මත පළ කිරීමට නොහැකි බවත් ඉදිරි දිනකදී ඒ පිළිබඳව පූර්ණ ප්‍රකාශයක් නිකුත් කිරීමට අදහස් කරන බවත්ය. 2012 වසරේදී අයි. සී. සී. ය විසින් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධනයන්ට අනුව නව අතුරු කමිටුව පත් කිරීම තුළින් අයි. සී. සී. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත් වීමක් සිදු වී ඇතැයි යන චෝදනාව මෙවන් අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව නොවේදැයි යන පැනයට පිළිතුරු දෙමින්, මෙම සිදු වීම කිසිදු ආකාරයක දේශපාලන මැදිහත් වීමක් නොවන බවත් සිදුකරන ලද්දේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් නව අතුරු පාලක කමිටුවක් පත් කිරීමක් පමණක් බවත් කී ක්‍රීඩා අමාත්‍යවරයා එම කමිටුවට කිසිම බලපෑමක් නොකරන තත්ත්වයක් තුළ මෙය දේශපාලන මැදිහත්වීමක් ලෙස හැඳින්වීම තමාටද ප්‍රශ්නයක් බවත් පැවැසීය. මෙම නව ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කළ විගසම සියලු කරුණු දක්වා අයි. සී. සී. ය වෙත ලිඛිත දැනුම් දීමක් කළ බව කී අමාත්‍යවරයා ඊට මෙතෙක් අයි. සී. සී. යෙන් පිළිතුරක් එවා නොමැති බවද ප්‍රකාශ කළේය. තවද පසුගියදා පැවැති අයි. සී. සී. රැස්වීමේදී මීට අදාළව සාකච්ඡා කරන බවට පෙර දැනුම් දීමක් නොකරන ලද බව කී දිසානායක මහතා අයි. සී. සී. ය පැත්තෙන්ද යම් අඩුපාඩුකම් සිදු වී ඇති බැවින් මේ පිළිබඳව ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද පැවැසීය.