රොස් ටේලර් ජාතිවාදය ගැන අමිහිරි සත්‍යයක් හෙළිකරයි

762
live cricket news

පසුගිය අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට්වලට සමුදුන් නවසීලන්ත පිතිකරු Ross Taylor (රොස් ටේලර්) තමන්ට නවසීලන්ත සුදු ජාතික ක්‍රීඩකයන්ගෙන් විඳීමට සිදු වූ ජාතිවාදී පීඩනය පිළිබඳ හෙළිකොට තිබෙනවා.

ඔහු විසින් රචිත චරිතාපදානයක් තුළ ඔහු මෙය සටහන් කොට තිබුණා. සැමෝවානු සම්භවයක් තිබූ ක්‍රීඩකයෙකු වූ රොස් ටේලර් නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ක්‍රිකට් දැවැන්තයෙක්. ඔහුගේ ප්‍රකාශයත් සමඟින් නවසීලන්ත ක්‍රිකට් ගැන ලොව පුරා ප්‍රේක්ෂකයන්ට තිබූ සුපහන් හැඟීමට බාධා වී තිබෙනවා.

ඔහු පවසන්නේ විහිළුවක ආකාරයෙන්  ක්‍රීඩාගාරයේ දී සෙසු ක්‍රීඩකයන්ගෙන් ජාතිවාදී ප්‍රකාශ අසන්නට ලැබුණු බවයි. එමෙන්ම එංගලන්තය සහ ස්කොට්ලන්තය තුළ ක්‍රීඩා කිරීමේ දීත් එවැනි අත්දැකීම් වලට මුහුණ දුන් බව ඔහු සඳහන් කොට තිබෙනවා.

නවසීලන්තය තුළ ක්‍රිකට් කියන්නේ සුදු ජාතිකයන්ගේ ක්‍රීඩාවක්. මගේ ක්‍රීඩා දිවිය පුරාවටම මම වැනිලා පාට ක්‍රීඩකයන් පේළියක දුඹුරු පාට මුහුණක්.”, New Zealand Herald වෙබ් අඩවිය විසින් ඔහුගේ Black&White කෘතියේ කොටසක් එසේ උපුටාගෙන තිබුණා.

ඒකත් එක්ක එන අභියෝග ටිකක් තියෙනවා. ඉන් බොහොමයක් සම ක්‍රීඩකයන්ට හෝ ක්‍රිකට් ප්‍රජාවට පෙනෙන්නේ නැහැ.” ඔහු සටහන් කොට තිබුණා.

රොස් ටේලර් අයත්වන පොලිනීසියානු ගෝත්‍රිකයන් (සැමෝවානු, ටොන්ගානු, ෆිජියානු දූපත්වල ස්වදේශිකයින්) ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන්නේ අඩු වශයෙන්. ඔවුන්ගේ දස්කම් බොහෝ දුරට ප්‍රකටව පවතින්නේ රග්බි ක්‍රීඩාව තුළයි. ඇතැම් අවස්ථාවල දී ඔහුව මඔරි හෝ ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙකු වශයෙන් හඳුනා ගත් බව ඔහු විසින් ලියා තිබුණා.

රොස් විසින් මෙසේ ද සටහන් කොට තිබුණා.

ක්‍රීඩාගාරයෙන් එන විහිළු වලින් තමයි ඒක මැනගන්න පුළුවන්. කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක් මට කිව්වා, ‘උඹ බාගෙට හොඳ කෙනෙක් රොස්, ඒත් මොන බාගෙද හොඳ? උඹට තේරෙන්නෙත් නැතුව ඇති මම කියන්නෙ මොකක්ද කියලා.”

අනෙක් ක්‍රීඩකයින්ටත් ජාතිය මුසුවෙච්ච අදහස් දක්වන්න තිබුණා. Pakeha (සුදු නවසීලන්ත ජාතිකයෙක්) කෙනෙකුට ඒ වගේ දේවල් ඇහෙනකොට ඒක විහිළුවක් විතරයි කියලා හිතෙන්න පුළුවන්.”,

ඒත් ඔහුට ඒක ඇහෙන්නේ සුදු ජාතිකයෙකු වශයෙන්. ඔවුන්ට නෙමෙයි ඒ කතා ඉලක්ක වෙන්නේ. ඒ හින්දා ප්‍රතිචාර දැක්වීමක් නෑ, කවුරුත් ඔවුන්ව නිවැරදි කරන්නේ නැහැ. ඒ නිසා වගකීම අදාළ ඉලක්ක වෙතට වැටෙනවා. ඔවුන්ව ඇදලා ගන්නත් වෙලාවකට ඔබට හිතෙනවා, ඒත් එයින් ඔබ නිකම් විහිළුවක් ජාතිවාදී ගැටලුවක් බවට පත්කරගත්තා කියලා තවත් ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. රළු හිතකින් ඒවා ගණන් නොගෙන ඉන්න එක ලේසියි. ඒත් එකද හරි දේ?” ඔහු විමසා තිබුනා.

සමේ පැහැය ගැන කාලාන්තරයක් පුරාවට අසන්නට ලැබෙන බෙදීම තවමත් එසේම ඇති බවයි ඔහුගේ කතාවෙන් පැහැදිලි වන්නේ.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඔහුගේ පොතෙහි අඩංගු ඇතැම් අදහස් සම්බන්ධව ඔහුගෙන් අදහස් විමසීමට පෙලඹී තිබෙනවා. වාර්තා වන්නේ එම සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙන බවයි.

අපි ඔහුව සලකන්නේ අපේ ක්‍රිකට් පවුලේ වැදගත් සාමාජිකයෙකු වශයෙන්. ඔහු මෙවැනි හැසිරීම් වලට මුහුණ දුන්නාය කියන එක ගැන අපි ගැඹුරින් සලකා බලනවා” නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසා තිබුණා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<