Surya අහසේ සිට පහළටම කඩා වැටේ!

India vs Australia ODI Series 2023

6426
Suryakumar Yadav gets a awful recod

වත්මන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හී අංක එකේ පිතිකරු ලෙස රැඳී සිටින ඉන්දීය ක්‍රීඩක Suryakumar Yadav විසින් මෙවර ඉන්දියාවේ නම ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොතට ඇතුළත් කිරීමට වෙනස්ම මාර්ගයක් තෝරා ගෙන තිබෙනවා.

ඊයේ (22) දිනයේ පැවැත්වුණු ඉන්දු – ඕස්ට්‍රේලියා තෙවැනි එක්දින තරගයේ දී Ashton Agar විසින් යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා තමා මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ක්‍රීඩාගාරය වෙත හැරී යාමට Suryakumar Yadav හට සිදු වූ අතර, ඒ අනුව ඔහුට මෙම තරගාවලියේ ක්‍රීඩා කළ තරග තුනේ දී ම සිය පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා සිටිය දී (Golden Duck) දැවී යාමට සිදු වුනා.

ඒ අනුව Suryakumar Yadav විසින් ඊයේ දිනයේ වාර්තා පොත්වලට ඇතුළු වුනේ පිට පිටම එක්දින ජාත්‍යන්තර තරග ත්‍රිත්වයක දී Golden Duck අවස්ථාවට හසු වූ පළමු ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි. එමෙන්ම පිට පිටම Golden Duck තුනක් ලබා ගත් ලොව 14 වැනි ක්‍රීඩකයා බවට ද ඔහු පත් වුනා.

මීට පෙර මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට මුහුණ දී ඇති ප්‍රසිද්ධ ක්‍රීඩකයින් ලෙස Shane Watson, Andrew Symonds වැනි ක්‍රීඩකයින් නම් කළ හැකි අතර ලකුණු “0” වාර්තා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවෙන් කිසිදු පිතිකරුවෙකු එම නම් 14 අතරට ඇතුළත් නොවීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් සිය ක්‍රිකට් ජීවිතය තුල වැඩිම Golden Duck අවස්ථා ප්‍රමාණයකට මුහුණ දුන් පිතිකරුවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අතර, ඔහු හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි. ඔහු විසින් Golden Duck අවස්ථා 13කට සිය ක්‍රිකට් ජීවිතයේ දී මුහුණ දී ඇති අතර, එම ලැයිස්තුවේ වේ පස්වැනි සහ හයවැනි ස්ථාන ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියට සහ මුත්තයියා මුරලිදරන් හට හිමි වී ඇත්තේ Golden Duck අවස්ථා 9කට බැගින් මුහුණ දීමට සිදු වීමත් සමඟයි.

එමෙන්ම එක්දින තරගවල දී වැඩිම වාර ගණනක් නොකඩවා ලකුණු බිංදුවට දැවී ගොස් ඇති ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමෝධ්‍ය වික්‍රමසිංහ සහ ලසිත් මාලිංග ඉදිරියෙන්ම සිටින්නේ පිට පිට එක්දින තරග 4ක දී ලකුණු 0ට දැවී යාමත් සමඟයි.

(මාලිංග එහි අවස්ථා කිහිපයක දී ම සිය නම සටහන් කර ගැනීමට සමත් වී ඇති අතර මහේල ජයවර්ධන විසින් ද 2008 දී තෙවරක් නොකඩවා ලකුණු 0ට දැවී ගොස් තිබෙනවා.)

මේ අතර එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම වතාවක් බිංදුවට දැවී ගොස් ඇති පිතිකරුවන් අතර පෙරමුණේ පසු වන්නේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියයි. ඔහු විසින් 34 වතාවක් ලකුණු නොලබා දැවී ගොස් ඇති අතර එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය 28 වතාවක් ලකුණු නොලබා දැවී ගොස් ඇති මහේල ජයවර්ධන විසින් හිමි කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වර්තමානයේ ලකුණු නොලබා දැවී යාම පිළිබඳ කතාබහවල දී නිතර ඇසෙන නමක් වන කුසල් මෙන්ඩිස් හට හිමිව ඇති දරුණුතම වාර්තාව වන්නේ 2020/21 තරග කාල සමය තුල ටෙස්ට් ඉනිම හතරක දී නොකඩවා ලකුණු 0ට දැවී යාමයි. එමෙන්ම 2018 දී ඔහු විසින් පිට පිට එක්දින ජාත්‍යන්තර තරග ත්‍රිත්වයක දී නොකඩවා ලකුණු නොලබා දැවී ගොස් ඇති නමුත් ඒවා Golden Duck අවස්ථාවට අයත් වෙන්නේ නැහැ.

නමුත් මෙවැනි අවාසනාවන්ත වාර්තා ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳ මැන බැලීමට ප්‍රධාන නිර්ණායකයක් කර ගැනීම ඒ තරම් උචිත නොවන බව පැහැදිලි වන්නේ ටෙස්ට් ඉනිමවල දී හය වතාවක් Golden Duck අවස්ථාවට මුහුණ දී ඇති කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයකුගේ ටෙස්ට් තරග වාර්තා පිරික්සා බැලීමේ දීයි.

කෙසේ වෙතත් Suryakumar Yadav විසින් ලකුණු බිංදුව සමඟ නිතර ඇහෙන නම්වලට පවා හිමි නොවූ අභාග්‍ය සම්පන්න වාර්තාවකට ඊයේ හිමිකම් කියූ බව පැහැදිලියි. එමෙන්ම ඔහු මීළඟට ක්‍රීඩා කරන කුමන ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වුව ද විශාල පීඩනයක් යටතේ ක්‍රීඩා කරන්නට සිදු වනවා නොඅනුමානයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India සහ ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<