දිමුත් නැවතත් පළමු ටෙස්ට් පිතිකරුවන් 10 අතරට

124

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ ඉහළ දස්කම් නිසා නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට නවසීලන්ත ක්‍රීඩක Kane Williamsonට හැකිව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ නොදැවී ලකුණු 121ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රහණය කරා ගෙන යාමට ඔහුට හැකි වූ අතර දෙවැනි ටෙස්ට් තරගයේ දී අගනා ලකුණු 215ක් රැස් කළා.

එම තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ ද්විත්ව ශතකයක් රැස් කළ Henry Nicholls ද පිතිකරුවන් අතර 20 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

තරගාවලියේ අර්ධ ශතක දෙකක් ලබා ගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නවතම ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ නැවත මුල් දසදෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයක්.

නිමා වූ ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලියේ පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූ (3/49 සහ 5/53) ඕස්ට්‍රේලියා ක්‍රීඩක Mitchell Starc එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි තැනට පැමිණ ඇති අතර Mohammed Siraj තෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඕස්ට්‍රේලියා ක්‍රීඩක Josh Hazlewoodට හිමිව තිබෙද්දී, Alzarri Joseph එකොළොස් වැනි ස්ථානය දක්වා ස්ථාන 08ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගාවලියේ දස්කම් දැක්වූ Shai Hope එක්දින පිතිකරුවන් අතර 12 වැනි ස්ථානය දක්වා සහ අයර්ලන්ත තරගාවලියේ දස්කම් දැක්වූ Mushfiqur Rahim 18 වැනි ස්ථානය දක්වාත් පෙරමුණට පැමිණ තිබෙනවා.

Espncricinfo ඇසුරිනි

. >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<