අලුත් වූ IPL නීතිය

IPL 2023

966
IPL brings a new rule for this edition

මෙවර IPL තරගාවලියේ දී ක්‍රිකට් නීති පොත තරමක් වෙනස් වන බවට ඉඟි මීට කලකට පෙර සිටම ලැබුණු අතර, එහි නවතම නීති වෙනස් වීම අද (22) ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා.

ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී තරගයක කාසියේ වාසිය උරගා බැලීමට පැමිණීමේ දී කණ්ඩායම් නායකයින්ට කණ්ඩායම් දෙකක් සඳහන් කළ කොළ (Team Sheets) 2ක් රැගෙන ආ හැකි අතර, කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තමන්ට ලැබෙන ප්‍රතිඵලය අනුව සිය කණ්ඩායම තෝරා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමකට කාසියේ වාසිය ජයග්‍රහණය හෝ පරාජය වීම මත සිය ක්‍රීඩක සංයුතිය (Impact Player* ද ඇතුළුව) වෙනස් කර ගැනීමට අවස්ථාවක් හිමි වනවා.

*Impact Player – මෙවර IPL තරගාවලියේ පටන් සිදු වන තවත් වෙනස්කමක් වන මෙය මගින් කණ්ඩායමට තරගය ආරම්භ වීමට ප්‍රථම ක්‍රීඩකයින් සිව් දෙනෙකු තරගයක ආදේශක ක්‍රීඩකයින් ලෙස නම් කළ හැකි අතර, අවශ්‍ය මොහොතක දී තරගයට සහභාගී වන ක්‍රීඩකයකු වෙනුවට එම ආදේශක ක්‍රීඩකයකු තරගයට සහභාගී කරවීමට අවස්ථාව හිමි වනවා. මෙය පසුගිය දින නිමා වූ Legends league Cricket තරගාවලියේ දීත් භාවිතා වන අයුරු දකින්නට ලැබුණා.

මේ අයුරින් අලුත් වන නීතිය සහ පැරණි නීතිය අතර ඇති වෙනස විශ්ලේෂණාත්කමව ESPN Cricinfo මගින් මෙසේ පැහැදිලි කර තිබෙනවා.

“දැන් කණ්ඩායම් නායකයින් විසින් කාසියේ වාසිය උරගා බැලීමට පෙර සිය කණ්ඩායම් සංයුතිය හුවමාරු කර ගත යුතුයි.

මෙය කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව කණ්ඩායම් හුවමාරු කර ගැනීමට හැකි වන සේ වෙනස් වී තිබෙනවා.”

ඒ අනුව මෙම නව නීතිය අනුගමනය කරන දෙවැනි ලීග් තරගාවලිය බවට IPL පත් වන අතර මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේ දී නිමා වූ SA20 තරගාවලියේ දී ද මෙම නීතිය භාවිත වුනා.

එහි දී කාසියේ වාසියට පෙර කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනෙකු නම් කිරීමට අවස්ථාව හිමි වූ අතර කාසියේ වාසියෙන් පසුව එකොළොස් දෙනෙකුගෙන් යුත් සංයුතිය තෝරා ගැනීමට අවස්ථාව හිමි වුනා. එමගින් කාසියේ වාසිය තරගයකට සිදු කරන බලපෑම අවම කිරීම සිය බලාපොරොත්තුව වූ බව SA20 තරග සංවිධායකයින් සඳහන් කළා.

විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී ඇති වන පින්න තරගවලට විශාල බලපෑමක් එල්ල කරන අවස්ථා දකින්නට ලැබෙන අතර, මෙම නව නීතිය නිසා එවැනි බාහිර සාධක මගින් තරගයකට ඇති වන බලපෑම යම් තරමකට හෝ අවම කර ගැනීමට අවකාශය උදා වනවා.

එමෙන්ම මීට අමතරව මෙවර IPL තරගාවලියේ වෙනස් වී ඇති කොන්දේසි කිහිපයක් මෙසේ ESPN මගින් වාර්තා කර තිබුණා.

  • අඩු පන්දුවාර වේගයක් (over rate) පවත්වා ගනිමින් පන්දු යවන කණ්ඩායමකට නියමිත කාලයෙන් පසුව යවන පන්දුවාරවල දී යාර තිහේ සීමාවෙන් එළියේ රඳවා තැබිය හැක්කේ පන්දු රකින්නන් සිව් දෙනෙක් පමණයි.
  • කඩුලු රකින්නකු හෝ පන්දු රකින්නෙකු විසින් සිදු කරන අසාධාරණ එහා මෙහා වීමක දී (Movement) අදාළ පන්දුව මළ පන්දුවක් (Dead Ball) ලෙස සලකනු ලබන අතර, පිතිකරණ අංශය වෙනුවෙන් දඬුවම් ලකුණු පහක් ද ප්‍රදානය කරයි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<