අයර්ලන්තයේ ඉපිද, එංගලන්තයට ජීවය දුන් නායකයා සමුගනී!

769
oin Morgan announces his retirement

ක්‍රිකට් උපන් දේශයට පළමු එක්දින ක්‍රිකට් ලෝක කුසලානය (2019 දී) දිනා දීමට නායකත්වය දුන්, එංගලන්තය බිහි කළ විශිෂ්ටතම සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා ලෙස අවිවාදයෙන් යුතුව පිළිගැනෙන Eoin Morgan විසින් සියලු ම ආකාරයේ වෘත්තීය ක්‍රිකට් ආකෘතිවලින් සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පළමුව අයර්ලන්තය වෙනුවෙනුත්, දෙවනුව එංගලන්තය වෙනුවෙනුත් වසර 16ක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු Morgan විසින් පසුගිය වසරේ ජූලි මාසයේ දී තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා. නමුත් ඉන්පසුව මේ වන තෙක් ඔහු ලෝකය පුරා විවිධ ආකාරයේ ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරන අයුරු දැක ගන්නට ලැබුණා.

මේ වන විට 36 වැනි වියේ පසුවන Morgan විසින් පසුගිය වසරේ The Hundred තරගාවලියේ London Spirit සහ Abu Dhabi T10 තරගාවලියේ New York Strikers (අවසන් තරගය වන තෙක් ගෙන ගියා) කණ්ඩායම් දෙකට නායකත්වය ලබා දුන් අතර, නොබෝ දා අවසන් වූ SA20 තරගාවලියේ Paar Royals කණ්ඩායම නියෝජනය කරමින් තරග 7කටත් ක්‍රීඩා කළා.

“සියලු ම ආකාරයේ ක්‍රිකට් ආකෘතිවලින් සමුගන්නා බව මම ඉමහත් ආඩම්බරයකින් ප්‍රකාශ කරමි. බොහෝ සාකච්ඡා කිරීම් වලින් අනතුරුව වසර ගණනාවක් තිස්සේ මට බොහෝ දේවල් ලබා දුන් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට කාලය එළඹ ඇති බව මම විශ්වාස කරමි.”

සිය සමුගැනීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙමින් Morgan එසේ ප්‍රකාශ කර තිබුණා.

Eoin Morganගේ ක්‍රීඩා ජීවිතය

වසර විස්සකට ආසන්න කාලයක් පුරා ක්‍රිකට් තරග 885ක් ක්‍රීඩා කර ඇති Morgan විසින් 24,000ක් ඉක්මවා ලකුණු රැස් කර ඇති අතර, ඔහු විසින් සිය ක්‍රීඩා ජීවිතය තුල වසර හත හමාරක් පමණ එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට සීමිත පන්දුවාර තරග සඳහා නායකත්වය ද ලබා දුන්නා.

හිටපු එංගලන්ත නායක Alastair Cookගෙන් පසු එංගලන්ත නායකත්වය බාර ගත් (2014 දී) Morgan යටතේ එංගලන්තය 2015 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වුවත්, එහි දී එංගලන්තය සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අපොහොසත් වුනා. නමුත් ඉන්පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට Morganගේ නායකත්වයෙන් යුත් නවක එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

2016 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය වන තෙක් සහ 2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් යාමට හැකි වූ එංගලන්ත කණ්ඩායම විසින් 2019 දී Morganගේ නායකත්වය යටතේ මෙතෙක් ඔවුන් සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

ගෙවුණු වසර 6කට ආසන්න කාලය තුල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදු වූ දැවැන්ත ම වෙනසට දායක වූ එංගලන්තය කණ්ඩායමේ ජීවනාලිය බවට පත් වූ ක්‍රීඩකයා Eoin Morgan බව නොරහසක්.

2019 දී අතිශය තියුණු තරගයකින් පසුව නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සිය රටේ දීම ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වූ අතර, එතැනින් නොනැවතුනු එංගලන්තය Morganගෙන් ලද තල්ලුවේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සමුගැනීමෙන් පසුව පසුගිය වසරේ දෙවැනි වරටත් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

එමෙන්ම මීට පෙර එංගලන්තය විසින් 2010 වසරේ දී පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ව සිටීමට ද Morgan විසින් සමත් වුනා.

සිය සමුගැනීමේ සටහන තබමින් තම බිරිඳට, පවුලේ සාමාජිකයින්ට, කණ්ඩායම් සාමාජිකයින්ට මෙන්ම සියලු ම රසිකයින්ට ද ස්තුතිය පල කළ Morgan තවදුරටත් පවසා තිබුණේ, ඉදිරියේ දී ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස තමන්ව දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

“මගේ විශ්‍රාම ගැනීමත් සමඟම මට පුළුවන් වෙලා තියෙනවා මම ආදරය කරන අය සමඟ වැඩි කාලයක් ගත කරන්න. ඒ වගේම මට වෘත්තීය ක්‍රිකට්වල නියැලෙමින් ලැබිය හැකි ත්‍රාසය සහ අභියෝගය වල අඩුව තදින් දැනේවී.

මම ක්‍රීඩාවෙන් සමු ගත්තත් ඉදිරියේ දී ජාත්‍යන්තර සහ ෆ්‍රැන්චයිස් තරගාවලිවල දී විස්තර විචාරකයෙක් විදිහට වැඩ කරාවී. “

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<