කටාර් T10 ලීගයේ ජය ෆැල්කන් හන්ටර්ස් පිළට

81

ක්‍රිකට් ක්‍රීඩාවට නව කෙටි තරග රටාවක් හඳුන්වා දෙමින් සතියකට වැඩි කාලයක් පුරාවට පැවති “කටාර් T10 ලීග්” ක්‍රිකට් තරගාවලිය ඊයේ (16) නිමාවට පත්වූයේ ෆැල්කන් හන්ටර්ස් කණ්ඩායම මෙවර ශූරයින් ලෙස කිරුළු පළඳවමිනි. එහිදී අවසන් පන්දුවාරය දක්වාම ඇදී ගිය උණුසුම් තරගයක අසිරිය විඳ ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවිය.

තරග 17ක් අවසානයේ කටාර් පන්දුවාර දහයයි දහය තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් අසුන් වෙන්කර ගත්තේ කම්රාන් අක්මාල් විසින් මෙහෙයවන ස්විෆ්ට් ගැලෝපර්ස් කණ්ඩායම සහ ඉක්බාල් හුසේන් නායකත්වය දරන ෆැල්කන් හන්ටර්ස් කණ්ඩායමයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්  කිහිප දෙනෙකුද සහභාගි වුවද අවසන් මහා තරගයට ක්‍රීඩා කල කණ්ඩායම් දෙකටම එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ අයත් නොවීම කණගාටුවට කරුණක් විය.

දැඩි ශුෂ්ක දේශගුණයකට හිමිකම් කියන මැද පෙරදිග දී මෙම තරගාවලිය පැවැත්වුවද එහි සම්පූර්ණ තරග 5ක්ම නිමාවට පත්වූයේ වර්ෂාවට තරග ප්‍රතිඵලය සේදී යාමෙනි. කෙසේවෙතත් අවසන් තරගය දැකබලා ගැනීමට ඊයේ දෝහා හි වෙස්ට් එන්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයින් සමූහය වැසි දියේ පොඟවන්නට තරම් වැසි දෙවියන් අකාරුණික වූයේ නැත. 

එබැවින් සැලසුම් කර තිබූ පරිදි මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට තරගය ඇරඹෙන්නේ ෆැල්කන් හන්ටර්ස් කණ්ඩායමට කාසියේ වාසිය හිමිකර දෙමිනි. ඒ අනුව ඔවුන් උපක්‍රමශීලී වෙමින් ස්විෆ්ට් ගැලෝපර්ස් කණ්ඩායම ලබා ගන්නා ඉලක්කය පසුව හඹා යාමට තීරණය කරන ලදී. අභියෝගය භාර ගන්නා ගැලෝපර්ස් පිතිකරුවන් එහිදී තරගයක් දිය හැකි තරමේ ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නේ පන්දුවාර 10 අවසානයේ කඩුලු 7කට ලකුණු 85ක් ලබා ගනිමිනි. 

එහිදී 21 හැවිරිදි යොවුන් ක්‍රීඩක අලි ඉම්රාන් ලකුණු 19ක් සමඟ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙද්දී ජාත්‍යන්තර තරග අත්දැකීම් රාශියක් ඇති කම්රාන් අක්මාල් ලකුණු 16ක් ලබා ගත්තේය. මේ දක්වා ජාත්‍යන්තර වරම් දිනා නැති මොහොමඩ් ඉම්රාන් ලකුණු 18යි. මෙම ක්‍රීඩකයින් තිදෙනාම හයේ පහර 2 බැගින් එල්ල කිරීමට ද සමත් විය. පන්දු යැවීමේ දී වැඩි දක්ෂතා දැක්වූ මුරාද් කාන් සහ ඉක්බාල් හුසේන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශූරතා කුසලානය වෙනුවෙන් මෙම ඉලක්කය පසුපස හඹා යාම ඇරඹූ  ෆැල්කන් හන්ටර්ස් පිළට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නම රැන්ඳූ හෂීම් අම්ලා, සල්මාන් බට් වැනි ක්‍රීඩකයින් ද ඇතුළත් වීම අමතර වාසියක් විය. ෆැල්කන් පිළ වෙනුවෙන් ඉනිම ඇරඹූ ඔවුන් දෙදෙනාම ඊයේ දිනයේ ලකුණු 18 බැගින් රැස් කිරීමට ද සමත් වූහ. කෙසේවෙතත් අම්ලා ඊයේ මෙම කෙටි තරග රටාවේ එම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීමට පන්දු 21ක් වැය කිරීම තරමක් සුවිශේෂී සිදුවීමක් විය.

මොවුන් දෙදෙනාට අමතරව අමාද් බට් නම් තරුණ පිතිකරුවාද පන්දු 12කින් ලකුණු 18ක් ලබා ගත්තේය. මේ අනුව කඩුලු 5ක් අතැතිව සිටි ෆැල්කන් හන්ටර්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 16කි. මෙය පන්දුව සහ පිත්ත අතර ඉතාමත් තීරණාත්මක සටනක් වූ අතර අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම හිමිවන්නේ ඕමාන කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ඇති සුෆියන් මෙහෙමූද්ටයි.

එහිදී දකුණත් පිතිකරු තමූර් සජ්ජාද් මුල්ම පන්දු 2ට හ‍යේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් ලකුණු පරතරය අඩු කිරීමට වෙහෙස වුවද තෙවැනි පන්දුවේ දී කඩුල්ල අහිමි කර ගත්තේය. එබැවින් නැවතත් දෙපිළටම විවෘත වූ තරගයෙන් ෆැල්කන් පිළට ජයපැන් බීමේ අවස්ථාව උදාකර දෙන්නේ අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ ඉක්බාල් හුසේන් එල්ල කළ හයේ පහරයි. ඒත් සමඟ ෆැල්කන් හන්ටර්ස් කණ්ඩායම කඩුලු 4ක තියුණු ජයක් තහවුරු කර ගන්නේ තවත් එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි.

තරගය දිනවන පහර එල්ල කිරීමත්, පන්දුවෙන් කඩුලු දෙකක් දවා ගැනීමත්, විශිෂ්ට නායකත්වයත් නිසා මෙම අවසන් මහා තරගයේ වීරයා ලෙසද ඉක්බාල් හුසේන් නම් කෙරිණ. තරගාවලියේ වීරයා බවට පත්වූයේ තරගාවලිය පුරාවට පිත්තෙන් ඉහළ දස්කම් දැක්වූ මොහොමඩ් රිස්ලානුයි. ඔහු ඉනිම 5ක දී ලකුණු 138ක් රැස්කර ගත්තේය.

ස්විෆ්ට් ගැලෝපර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 85 (පන්දුවාර 10)

අලි ඉම්රාන් 19, මොහොමඩ් ඉම්රාන් 18, කම්රාන් අක්මාල් 16, සුෆියන් මෙහෙමූද් 12, සාදික් 12, මුරාද් කාන් 2/18, ඉක්බාල් හුසේන් 2/26.

ෆැල්කන් හන්ටර්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 87 (පන්දුවාර 9.5)

අමාද් බට් 18, සල්මාන් බට් 18, හෂීම් අම්ලා 18, තමූර් සජ්ජාද් 12, ඉක්බාල් හුසේන් 6*, අලි ඉම්රාන් 2/8, මොහොමඩ් ඉම්රාන් 1/11, සයිනුදීන් 1/17, සුෆියන් මෙහෙමූද් 1/32.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<