මම මට ඕන වෙලාවට කතා කරනවා – Ronaldo

FIFA world cup 2022

514

තමන් විසින් Manchester United අලලා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙවර ලෝක කුසලානය තරග සමයේ පෘතුගාල කණ්ඩායම තුල ඇති බැඳීම්වලට බාධාවක් නොවන බව සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo විසින් අවධාරණය කරනවා.

තමන්ගේ ක්‍රියාවන් තම සංචිතයට සිදු කරන බලපෑමක් සිදු නොකරන බවත්, මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තම කණ්ඩායමට ඇති බවත් පෘතුගාල නායකයා විසින් තව දුරටත් පවසා සිටියා.

“අනිත් මිනිස්සු මොනවද හිතන්නේ කියලා හිතන්න මට අවශ්‍ය නැහැ. මම මට ඕන වෙලාවට කතා කරනවා. මේ ක්‍රීඩකයින් වසර ගණනාවක ඉඳන් මාව දන්නවා සහ මම මොන වගේ කෙනෙක් ද කියලත් දන්නවා.

තරගාවලිය ගැන අවධානය යොමු කරමින්, ඒ වගේම ජයග්‍රහණය කිරීමේ පිපාසාවෙනුයි කණ්ඩායම ඉන්නේ. ඒ නිසා මට විශ්වාසයි ඒක (සම්මුඛ සාකච්ඡාව) කණ්ඩායමේ අවධානයට බලපෑමක් එල්ල කරන්නේ නැහැ කියලා.”

අද (21) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් Ronaldo මේ බව කියා සිටියා. එමෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වන වීඩියෝ පටයක ඇති තමන් සහ තම කණ්ඩායම් සගයෙකු වන Bruno Fernandes අතර ඇතිවූ සිදු වීම විහිළුවක කොටසක් බවත් Ronaldo එහි දී පවසා සිටියා.

“ඔහුගෙයි (Fernandes) මගෙයි සම්බන්ධය ඉතාමත් හොඳ එකක්, මම ඔහු සමඟ විහිළු කරමිනුයි සිටියේ. ඔහුගේ ගුවන් යානය එන්න පරක්කු වුනා, ඒ නිසා මම ඔහුගෙන් ඇහුවා බෝට්ටුවකින් ද ආවේ කියලා. එච්චරයි.

කණ්ඩායම තුල තියෙන වාතාවරණය අති විශිෂ්ටයි, කිසිම ගැටලුවක් අපි අතර නැහැ. කණ්ඩායම ආවරණය වෙලා තියෙන්නේ, ඒ නිසා මම මේක අවස්ථාවක් කර ගන්නවා මම ගැන ප්‍රශ්න අහන එක නවත්වන්න කියලා කියන්න.”

මේ අතර Ronaldoට පසුගිය අඟහරුවාදා නයිජීරියාව සමඟ පැවති තරගය බඩ පෙදෙසේ ඇති වූ අසනීපය හේතුවෙන් මග හැරී ගිය අතර, ඔහු කටාර් වෙත පැමිණියේ පසුගිය සිකුරාදායි.

“මම හොඳින්, මම දැන් නැවතත් යථා තත්වයට ඇවිත් ඉන්නේ, ඒ නිසා පුළුවන් හොඳම විදිහෙන් මේ පාර ලෝක කුසලානය ආරම්භ කරන්නයි මම උත්සාහ කරන්නේ.

මම හිතන්නේ පෘතුගාල කණ්ඩායමට ඉතා හොඳ ශක්‍යතාවයක් තියෙනවා ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න. ඒ නිසා මට විස්වාසයි අපිට දිනන්න පුළුවන් කියලා. නමුත් අපි මීලඟ තරගය ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඝානා වලට එරෙහිව තරගය ජයගත යුතුයි.

අපි බලමු අවසානයේ හොඳම කණ්ඩායම මොකද්ද කියලා, මම නම් විශ්වාස කරන්නේ පෘතුගාලය තමයි හොඳම කියලා. නමුත් අපි ඒක පිටියේ දී පෙන්විය යුතුයි.”

පෘතුගාල කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ H කාණ්ඩය නියෝජනය කරන අතර, ඔවුන්ගේ අනෙක් ප්‍රතිවාදී කණ්ඩායම් වන්නේ ඝානා, උරුගුවේ සහ දකුණු කොරියාවයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<