ඉක්වදෝර් පාපන්දු ලෝලීන් බියර් ඉල්ලා කටාර් රාජ්‍යය දෙවනත් කරයි

FIFA world cup 2022

2187

ඊයේ (20) පාපන්දු ලෝක කුසලානයේ ප්‍රථම තරගයෙන් ම ජයග්‍රණහණයේ පහස විඳීමට සමත් වූ ඉක්වදෝර් පාපන්දු රසිකයින් තරගය අතරතුර “අපිට බියර් අවශ්‍යයි” (we want beer) යනුවෙන් පවසමින් මහා හඬින් කෑගසන්නට පටන් ගත්තා.

ඔවුන් එසේ කෑගසන අතරේම, කටාර් පාපන්දු රසිකයින් බලාපොරොත්තු නොවූ පරාජයේ වේදානවෙන් තරගය අතර මැද දී ම ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාම ද විශේෂත්වයක්.

තරගයේ දෙවැනි අර්ධයේ දී ප්‍රේක්ෂකාගාරයේ අසුන් වලින් අඩක් පමණ හිස් වී තිබූ අතර, සත්කාරක දේශයේ ප්‍රථම ලෝක කුසලාන තරගයම ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරවූ එකක් බවට පත් වුනා.

නමුත් තරගයේ පළමු භාගය අවසානයේ තමන්ට බියර් අවශ්‍ය බව පවසමින් කෑගැසූ ඉක්වදෝර් රසිකයින් ඇල්මැරෙමින් තිබූ ප්‍රේක්ෂකාරාගයට ‍යම් තරමක හෝ ජීවයක් ලබා දීමට සමත් වුනා.

කටාර් රාජ්‍යය මීට දින දෙකකට පෙර ක්‍රීඩාංගණවල බියර් අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගත් අතර, එම තීරණය නිසාවෙන් ඊයේ ඉක්වදෝර් ප්‍රේක්ෂකයින්ගේ හැසිරීම තරමක් හාස්‍ය මුසු ස්වභාවයකින් යුතුව විදෙස් මාධ්‍ය මගින් උලුප්පා දක්වනවා.

මද්‍යසාර භාවිතයට දැඩි සීමා පනවා ඇති ඉස්ලාම් රාජ්‍යයක් වන කටාර් රාජ්‍යය ක්‍රීඩාංගණ වල විකිණීමට අවසර දී ඇත්තේ මද්‍යසාර අඩංගු නොවන පානයන් පමණයි.

ඊයේ රාත්‍රියේ ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය වෙනුවෙන්ම 67,000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එක් වී සිටි අතර, ඉන් වැඩි ප්‍රමාණයක් කටාර් පාපන්දු ලෝලීන් බවයි වාර්තා වන්නේ.

නමුත් තරගය අවසන් වන විට එම පාපන්දු ලෝලීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ලැබූ පරාජය දරා ගත නොහැකිව ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් වී ගොස් තිබුණා.

ආසියානු පාපන්දු ශූරයින් ලෙස මෙම තරගාවලියට පිවිසි කටාර් කණ්ඩායමට ඉක්වදෝරය හමුවේ ලැබූ 2-0 ක පරාජයත් සමඟින් උරුම වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට සත්කාරක දේශයක් සිය පළමු තරගයෙන්ම පරාජයට පත් වීමේ අවමානය පමණයි.

“අපේ ආධාරකරුවන් වෙනුවෙන් අපි කනගාටු වෙනවා, නමුත් කියනවා ඊළඟ තරගයේ දී ඔවුන්ට ආඩම්බර වෙන්න පුළුවන් වේවි. අපි පොඩි චකිතයක් එක්කයි ක්‍රීඩා කළේ,” කටාර් පාපන්දු පුහුණුකරු Felix Sanchez තරගයෙන් අනතුරුව එසේ පවසා තිබුණා.

ඊයේ දිනයේ දී කටාරය අවස්ථා පහක දී ගෝල ලබා ගැනීම් වෙනුවෙන් ප්‍රයත්න දැරුව ද ඉන් එකක්වත් ඉලක්කයට එල්ල කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ, මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සත්කාරක රාජ්‍යයක් විසින් දියත් කළ දුර්වලතම තරගයක් ලෙසයි විදෙස් මාධ්‍ය මගින් හඳුන්වා දෙන්නේ.

එමෙන්ම කටාර් රාජ්‍යය තමන්ගේ ඉදිරි තරග දෙක තුල දී හෝ දක්ෂතා දැක්වීමට අපොහොසත් වුනොත් ඔවුන්ට ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වටයෙන්ම ඉවත් වූ දෙවැනි සත්කාරක රට බවට පත් වීමට සිදු වනු ඇත. (පළමු රට වන්නේ දකුණු අප්‍රිකාවයි.)

නමුත් කටාර් පුහුණුකරු පවසන්නේ ඉදිරියේ ඔවුන්ට ඇති තරග දෙක වන නෙදර්ලන්තය සහ සෙනගාල් කණ්ඩායම් සමඟ තරග ද්විත්වය හොඳින් ක්‍රීඩා කළ හැකි බවයි.

මේ අතර ඉක්වදෝරය වෙනුවෙන් තරගයේ ප්‍රථම භාගයේ දී ම ගෝල දෙකක් ලබා ගනිමින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම කටාරයන් ගලවා දැමූ Enner Valencia (ඉක්වදෝර් නායකයා) තරගයේ 77 වැනි මිනිත්තුවේ දී ඔහුගේ දණහිසේ සහ වළලුකරේ ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියා.

“මෙය ලෝක කුසලානයේ ආරම්භය පමණයි, අපි සිහින දකිමින් සිටිය යුතුයි,” යනුවෙන් තරගයෙන් අනතුරුව Valencia විසින් පවසා සිටියා. ඉක්වදෝරය වෙනුවෙන් ලෝක කුසලාන තරගවල අවසන් වශයෙන් ලබා ගත් ගෝල පහේම (2014 3ක් සහ ඊයේ 2ක්) හිමිකරු වන්නේත් ඔහුයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<