“හිජාබය ගැලවුණේ සැලකිල්ලකින් තොරවයි” – එල්නාස් රෙකාබි

5751

ගෘහස්ථ කඳු නැගීමේ ශූරියක වන ඉරාන ජාතික Elnaz Rekabi (එල්නාස් රෙකාබි) තම කොණ්ඩය පෙනෙන සේ තරග වැදීම ගැන මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

කොණ්ඩය පිටස්තරයන්ට පෙනෙන සේ තබා ගැනීම ඉරාන නීතිය යටතේ තහනම් ක්‍රියාවක්. එබැවින් කාන්තාවන් එය හිජාබයකින් ආවරණය කර ගත යුතු වනවා. එහෙත් අවසන් මාස කිහිපයේ දී ඉරාන කාන්තාවන් මෙම දැඩි නීති රීති වලට විරෝධය පෑමත් සමඟ විප්ලවකාරී පුවත් කිහිපයක් වාර්තා වුනා. රෙකාබිගේ පුවත ද එවැන්නක්.

33 හැවිරිදි රෙකාබි ආසියානු ශූරතා කඳු නැගීමේ තරගාවලිය අතරතුර දී හිජාබය රහිතව තරග වැදුණු අතර ප්‍රේක්ෂකයන් සහ ඉරාන විප්ලවකරුවන් ඇයව අගය කළේ එය විප්ලවකාරී ක්‍රියාවක් ලෙස සලකමින්. මේ පිළිබඳව විමසීමේ දී ඇය විසින් සඳහන්කොට ඇත්තේ හිජාබය ගැලවී තිබුණේ තමන්ගේ සැලකීමකින් තොරව බවයි.

බදාදා දිනයේ ඇය නැවත ඉරානයේ ටෙහෙරාන් නුවර බලා ගිය අතර ඇයව පිළිගැනීමට විශාල පිරිසක් එක්වී සිටියා. ඔවුන් විසින් ඇයව පිළිගනු ලැබුවේ ඇයව වීරවරියක ලෙස සලකමින්.

කෙසේ වෙතත් ඉරානයට පැමිණි පසු ඇය විසින් Instagram හි පළකොට තිබුණේ,

නිසි කල් මැනීමක් නොතිබූ නිසා සහ කඳු නැගීමේ ඉසව්වට ලද අනපේක්ෂිත කැඳවීම නිසා මගේ හිස ආවරණය මගේ සැලකිල්ලෙන් තොරව ගැලවී තිබුණා,” යනුවෙන්.

මින් පෙර නොයෙක් ඉසව්වල දී හිජාබය නොපැළඳ තරග වැදුණු ඉරාන ක්‍රීඩිකාවන් පවසන්නේ තමන්ට ද ඉරාන බලධාරීන් විසින් එවැනි සමාව ඉල්ලීමකට බල කළ බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<