Messiගෙන් ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්

FIFA world cup 2022

888

ඊයේ (22) සෞදි අරාබිය හමුවේ ලද අනපේක්ෂිත පරාජයට හේතු ඉදිරිපත් නොකරන බවත්, තව දුරටත් සිය කණ්ඩායම පිළිබඳ විශ්වාසය තබා ගන්නා ලෙසත් ආජන්ටිනා කණ්ඩායමේ නායක Lionel Messi විසින් ප්‍රකාශ කළා.

ඊයේ පැවති තරගයෙන් ආජන්ටිනා කණ්ඩායමට සෞදි අරාබියාව හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජය වීමට සිදු වූ අතර, මෙය මෙතෙක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිදු වූ අවුල් සහගතම සිදුවීම්වලින් එකක් ලෙසයි මේ වන විටත් බොහෝ දෙනෙකු පවසන්නේ.

එමෙන්ම තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ලෝක කුසලානය ජය ගනු ඇතැයි අනුමාන කළ කණ්ඩායම් අතරින් ඉහළින්ම රැඳීමට ද ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි නායක Messi අමතමින් මාධ්‍යවේදීන් පළමුව ඇසුවේ ඔහුගේ කණ්ඩායම් සගයින්ට තරගය පිළිබඳ කුමන අන්දමින් හැඟෙනවා ද යනුවෙනුයි.

“අපි මේ විදිහට තරගාවලිය ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ නැති නිසා ඒක ඉතාම තද පහරක් වුනා. අපි බලාපොරොත්තු වුනේ තරගය ජයග්‍රහණය කරලා ලකුණු තුනක් ලබාගෙන නිදහස් මනසින් ඉන්නයි.

දේවල් වෙන්නේ හේතුවක් ඇතුව, අපිට එන දෙයකට මුහුණ දෙන්න වෙනවා. අපිට දිනන්න වෙනවා, අපිට අපි මතම රඳා පවතින්න සිදු වෙනවා.

පරාජය ගැන කිසිම නිදහසට කරුණක් නැහැ, අපි වෙන කවදාටත් වඩා හොඳින් එකමුතු වෙන්නයි යන්නේ. මේ කණ්ඩායම ශක්තිමත්, අපි එය පෙන්විය යුතුයි. ලොකු කාලයකින් අපිට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා නැහැ. දැන් අපි සැබෑ කණ්ඩායමක් බව පෙන්විය යුතුයි.

පරාජය වීම වේදනාකාරී දෙයක්, නමුත් අපි අපි ගැන විශ්වාස කළ යුතුයි. අපි අලුත් පිටුවක් පෙරළන්න අවශ්‍යයි, ඒ වගේම ඉදිරියට යා යුතුයි. අපි වැරදුණු තැන් මොනවද කියලා විශ්ලේෂණය කළ යුතුයි. ධනාත්මක දේට අවධානය යොමු කරලා මෙක්සිකෝව සමග තරගය වෙත යොමු විය යුතුයි.”

මාධ්‍ය විසින් විමසූ පැනයට පිළිතුරු දෙමින් Messi එසේ පවසා සිටියා.

මේ අතර තරගය පිළිබඳ සිය අදහස් දක්වමින් සෞදි අරාබි කණ්ඩායමේ කළමණාකාරවරයා (Herve Renard) පවසා තිබුණේ, ඔවුන් ආජන්ටිනාවට වඩා ස්ථාන 48ක් පසුපසින් සිටි නිසා ආජන්ටිනාව තරගය පිළිබඳ එතරම් උනන්දු නොවන්නට ඇති බවයි.

නමුත් තමන් ප්‍රතිවාදීන්ව සැහැල්ලුවට නොගත් බව පැවසූ Messi, දහස් සංඛ්‍යාත ගණනින් කටාර් රාජ්‍ය වෙත ඇදී ආ ආජන්ටිනා පාපන්දු ලෝලීන්ට පවසා සිටියේ, පෝලන්තය සහ මෙක්සිකෝ කණ්ඩායම් සමග ඇති තරග දෙකේ දී නැවත මෙම තත්වය ආපසු හරවන බවයි.

“අපේ ආධාරකරුවන්ට කියන්න තියෙන්නේ අපි ගැන විශ්වාසය තබා ගන්න කියලයි, අපි ඔබව අතරමං කරන්නේ නැහැ.

අපි දැනගෙන හිටියා සෞදි අරාබි කණ්ඩායම හොඳ ක්‍රීඩකයින්ගෙන් සමන්විත එකක් බව. ඔවුන් පන්දුව හොඳින් හුවමාරු කළා. ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂක පෙළ (defensive line) ඉතාම ශක්තිමත්. අපි ඒ මත යම් දේවල් කළා, නමුත් අපි ටිකක් ඉක්මන් වුනා. අපි නැවතත් මුල් පදනමට යා යුතුයි, අපි ඉදිරියට කළ යුතු දේ ගැන සිතිය යුතුයි.”

ආජන්ටිනා කණ්ඩායම කටාර් දේශයට පැමිණියේ වත්මන් Copa America ශූරයින් ලෙස මෙන්ම, එක දිගට ජාත්‍යන්තර තරග 36ක් ජයග්‍රහණය කරමින් නොකඩවා වැඩිම ජාත්‍යන්තර පාපන්දු තරග ජයග්‍රණය කළ සම රට (අනෙක් රට ඉතාලිය) බවට පත් වෙමිනුයි. නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ ඒ ජයග්‍රාහි රිද්මය ඊයේ දිනයෙන් අවසන් වුනා.

මෙම පරාජය දරා ගැනීමට අමාරු එකක් නමුත් C කාණ්ඩය නියෝජනය කරමින් තම කණ්ඩායම ඉදිරි වටයට යන බවට පොරොන්දු වන බව ආජන්ටිනා පාපන්දු පුහුණුකරු Lionel Scaloni විසින් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළා.

“ඔවුන් දැල පෙදෙසට එල්ල කරන්න සමත් වුණු ප්‍රහාර දෙකෙන්ම ගෝල දෙකක් වාර්තා කරන්න සමත් වුනා.

අපි නැගිටින්න ඕන, අද (22) ශෝකී දිනයක්. නමුත් අපි අපේ හිස් කෙළින් කරගෙන ඉදිරියට යා යුතුයි. අපි වේදනාවෙන් ඉන්නේ, නමුත් අපි මේ දේවල් ආපසු හරවලා ඉදිරි තරග ජයග්‍රහණය කළ යුතුයි.

අපි පෙර විශ්වාස කළ ලෙසම දිගටම අපි ගැන විශ්වාස කරනවා. ලෝක කුසලාන වලදී මෙහෙම දේවල් වෙනවා, ඔබ කෙතරම් දක්ෂ වුනත් සමහර විට දේවල් ඔබේ විදිහට සිදු නොවේවි.

කවදාවත්ම පරාජය වීම හොඳ දෙයක් නෙවෙයි, අපි මේ තරගාවලියට ආවේ එන්න පුළුවන් හොඳම විදිහට. එහි අවසානයක් සිදු වන බව අපි දැනගෙන හිටියා.

වාසනාවට අපිට තව තරග දෙකක් ඉතුරු වෙලා තියෙනවා, අපි ඒ දෙකම ජයග්‍රහණයෙන් අවසන් කරන්නයි යන්නේ.”

ආජන්ටිනා පුහුණුකරු එසේ සිය අදහස් ප්‍රකාශ කළා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<