බෑස්බෝලය නිමැවුම් කළ කිවි දේශයේ නහරයා!

2820
NOTTINGHAM, ENGLAND - JUNE 08: Brendon McCullum of England with James Anderson prepares for a team photograph before a training session at Trent Bridge on June 08, 2022 in Nottingham, England. (Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

මේ දවස්වල හැමෝම කතා කරන්නේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම සහ බෑස්බෝල් ගැන. බෑස්බෝල් ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම චරිතයක් බ්‍රෙන්ඩන් මැකලම් කියන්නේ.

මැකලම් කියන්නේ තමන්ගේ තරග දිවිය පුරාවටම ආක්‍රමණශීලීව ක්‍රීඩා කළ අයෙක්. අද අපි කතා කරන්න යන්නේ මැකලම් ගැන, ඔහුගේ කුඩා කාලය ගැන සහ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඔහුගේ දැක්ම වෙනස් වූ ඇතැම් සිදුවීම් ගැන.

මම වෙලිංටන් නුවර දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 302ක ඉනිම නිමාකොට එන අතරවාරයේ මගේ හොඳම මිත්‍රයෙක් මා අතින් මගේ පිත්ත උදුරා ගත්තා.

‘මම මේක උඹේ පුතා වෙනුවෙන් පරිස්සම් කරලා තියා ගන්නම්’ ඔහු කිව්වේ මගේ පුතා රයිලි වෙනුවෙන් ඒ පිත්තට අත්සනකුත් ගන්න ගමන්.

මගේ කිට්ටු මිත්‍රයින් මගේ වැඩ පිළිවෙළ ගැන හොඳ හැටි දන්නවා. ඔය පිත්ත මැච් එකෙන් පස්සේ කෙළින්ම ගරාජයට යන බව මගේ මිත්‍රයා දැනගෙන හිටියා. හදිස්සියේ ගෙදරට එන ඕනම කෙනෙක්ට ඒ වටිනා වස්තුව නිකන්ම දීලා යවන්න පුළුවන් බවත් ඔහු දැනගෙන හිටියා.

බියර් එකක් හෝ වයින් වීදුරුවක් බොන අතරේ යාළුවෝ එක්ක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලත් ජයග්‍රහණ, ගත් නින්දා සහගත තීරණ, ක්‍රීඩාවේ පුද්ගල චරිත ගැන කතා කළාට මම කවදාවත් ක්‍රිකට් සම්බන්ධ භෞතික මතකයන් එකතු කරන්න කැමති මිනිහෙක් නෙවෙයි.

සමහර විට අනාගතයේ දවසක ඒ පිත්ත දැකලා මට මගේ ජීවිතයේ ස්වර්ණමය දවස් කිහිපයක් මතකයට ඒවි. එහෙම දවසක ඒ පිත්ත සුරක්ෂිතව තැබුවාට මම මගේ මිත්‍රයාට ස්තුති කරාවි. මම නැතත් රයිලි අනිවාර්යයෙන්ම කවදාහරි ඒක කරාවි.

මට මතක් වෙනවා නවසීලන්තයේ දකුණු ඩනේඩීන්වල ජීවත් වෙච්ච පොඩි එකෙක්. සෙනසුරාදා දවස තමයි ඒ පොඩි එකාගේ සතියේ කැමතිම දවස. හොඳට ඉර එළිය වැටිලා තියන සෙනසුරාදා උදෑසනක් තරම් ඒ දරුවා උද්දාමයට පත්කරන්න වෙන කිසිවක් සමත්වුනේ නැහැ.

ඔව් ඒ දරුවා මම. මගේ නම බ්‍රෙන්ඩන් මැකලම්. මේ මගේ කතාව.

මගේ තාත්තා ස්ටුවර්ට් මම වගේම ක්‍රිකට් පිස්සෙක්. ඔහු නවසීලන්තයේ පළමුපෙළ ක්‍රීඩකයෙක්. ඔහු ඇල්බියන් කියන ක්‍රිකට් කණ්ඩායම සහ ඔටාගෝ කණ්ඩායම වෙනුවෙන් කඩුලු රැකීමේ යෙදුණා.

තාත්තාගෙන් ආ ආභාෂය මටත් මගේ වැඩිමල් සහෝදරයා නේතන් දෙදෙනාටම යහමින් ලැබී තිබුණා.

ස්ටූ ජීවත් වුනේ ක්‍රිකට් වෙනුවෙන්. ක්‍රිකට් ක්‍රීඩා කිරීම් වෙනුවෙන් ඔහුට මහ ලොකු මුදලක් නම් ලැබුණේ නැහැ. ලැබුණේ සොච්චම් දීමනාවක්. හැබැයි ඔහු ක්‍රීඩාවෙන් සෑහෙන තෘප්තියට පත්වුනා.

ඉඳලා හිටලා පොඩි පොඩි හැප්පීම් සහ තැලීම් ඇරුණාම ක්‍රිකට් ක්‍රීඩාව මට ඉතාම යහපත් ආකාරයෙන් සැලකුවා.

තාත්තාට ස්ථීර රැකියාවක් තිබුනත්, ඔහුගේ වෘත්තීය අභිලාෂයන් හැමවෙලේම කැරකුණේ ක්‍රිකට් වටේ. තාත්තා ගේ සමකාලීනයෝ මට කියනවා එයා නවසීලන්තයට ක්‍රීඩා කරන්න හැකියාවක් තිබුණ කෙනෙක් කියලා. නමුත් ක්‍රීඩාවෙන්, මිත්‍රත්ව‍යෙන් ඔහු ලද ප්‍රීතියට බාධා කිරීමට ස්ටූ කිසි විටෙකත් ඉඩ දුන්නේ නැහැ.

ස්ටුවර්ට් මැකලම් සිය පුත්‍රයින් දෙදෙනා බ්‍රෙන්ඩන් සහ නේතන් සමඟ 1982 වසරේ ගත් ඡායාරූපයක්.

මම මුලින්ම නවසීලන්ත සංවර්ධන කණ්ඩායමට තේරෙන කොට වයස අවුරුදු 16ක් විතර ඇති. කඩුලු රකින්නෙකු ලෙස මම 2000 වසරේ ශ්‍රී ලංකාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළා. මගේ සහෝදරයා නේතන් ඒ නවසීලන්ත කණ්ඩායමේ තවත් සාමාජිකයෙක්.

ඊළඟ අවුරුද්දේ දකුණු අප්‍රිකාව සමග පැවති යොවුන් ටෙස්ට් තරගාවලියේ දී නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් මම යොවුන් ටෙස්ට් තුනේ දී ශතක තුනක් ලබා ගත්තා.

මට පිතිකරණයට යම් හැකියාවක් ඇති බව වැටහී ගිය පළමු අවස්ථාව එයයි.

2002 වසරේ මුල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මම ජාත්‍යන්තර වරම් දිනා ගත්තා. මගේ කෙටි ඉනිම දුවද්දී දැවී යෑමකින් නිමා කරන්නට එදා බ්‍රෙට් ලී සමත් වුනා.

නවසීලන්තය වෙනුවෙන් තරග රටා තුනේම ක්‍රීඩා කිරීමෙන් අනතුරුව 2013 වසරේ දී නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස මා තෝරාගැණුනා.

මේ කියන කාලය ක්‍රීඩකයෙක් විදියට විතරක් නෙවෙයි මනුස්සයෙක් විදියටත් මාව වෙනස් කරපු කාලයක්.

එය ඉතාම අසීරු කාලයක් කිව්වොත් වැරදි නැහැ. නවසීලන්ත කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ අසාර්ථක වෙමින් තිබූ කාලයක්. ඒ නිසාම රොස් ටේලර්ගෙන් ගලවා ගත් ටෙස්ට් නායකත්වය මට ලබා දෙන්නට නවසීලන්ත බලධාරීන් කටයුතු කළා. නවසීලන්තයේම ඇතැම් පිරිස් මේ පත් කිරීම ගැන විවෘතව අප්‍රසාදය පළ කළා.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන මාර්ටින් ක්‍රෝ ටේලර්ගේ ඉවත් කිරීමට විරුද්ධත්වය පාමින් සිය නවසීලන්ත බ්ලේසරය කේන්තියෙන් පුළුස්සා දැමූ බව කියවුණා.

‘මැකලම්ට නවසීලන්ත ක්‍රිකට් නායකත්වය ගැන කිසිම ගනුදෙනුවක් නැහැ’ නවසීලන්ත පත්තර ලොකු අකුරෙන් ලියා තැබුවා.

මෙහෙම ගිහින් මම නායකත්වය දෙන පළමු ටෙස්ට් තරගය උදා වුනා.

තරගය පැවැත්වුණේ 2013 ජනවාරි මුල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කේප් ටවුන් වල දී.

ඒක ඉතාම අලංකාර දවසක්. නමුත් නිව්ලන්ඩ්ස් කඩුල්ල තරමක් කොළ පැහැයෙන් දිස්වුණා.

තරගයට කලින් මම හොඳ අධ්‍යනයක් කළා. මම සුප්‍රකට ටේබල් මවුන්ටන් එක ගැන කියෙව්වා. ටේබල් මවුන්ටන් එක වටා වලාකුළු ආවරණයක් නොතිබේ නම් බැට් කරන්න ඒ වගේම මේස රෙද්දක් වැනි වලාකුළු ආවරණය තිබේ නම් වහාම අනෙක් කණ්ඩායමට පන්දුවට පහර දීමේ වාරය ලබා දෙන්න.

මම කේප් ටවුන් නගරයට ඉහළින් ඇති කන්ද දෙස බැලුවා. මට වලාකුළක තියා වලාකුළක ඉඟියක්වත් පෙනුණේ නැහැ. ඉතින් මම ග්‍රැහැම් ස්මිත් සමඟ කාසිය දැමීමට පිටියට ගිය විට තීරණය කළා අපි කාසියේ වාසිය දිනුවොත් ආක්‍රමණශීලී විකල්පය තෝරාගෙන මුලින්ම පන්දුවට පහර දෙනවා කියලා.

මට ඕන වුනා ප්‍රතිවාදීන්ට දැනෙන පණිවුඩයක් යවන්න. මම කාසියේ වාසිය දිනුවා. අපි බැට් කළා. පන්දුවාර 19.2ක් ඇතුළත අපි ලකුණු 45කට දැවී ගියා. නායකයා ලෙස මගේ පළමු ඉනිම ඒ ආකාරයෙන් නිමා වුනා.

ඒක හරිම අමාරු වගේම අපකීර්තිමත් දවසක්. විශ්ලේෂණය කරන්න කියලා ලොකු දෙයක් තිබුණේ නැහැ. නමුත් හිතන්න බොහෝ දේ ඉතුරු කළ දවසක්. දකුණු අප්‍රිකානුවන් අපිව බිමටම සමතලා කරලා තිබුණේ. ඒ වෙද්දීත් ඔවුන් අපිට වඩා ලකුණු 200ක් විතර ඉස්සරහින්.

මම ආපහු කාමරේට ආවේ තෙහෙට්ටු මනසකින්. මොහොතකින් කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ඒ අපේ පුහුණුකරුවා මයික් හේසන්.

ඔහු ශීතකරණයෙන් බියර් එකක් ගෙන වාඩි වී කතා කිරීමට පටන් ගත්තා. විනාඩි පහකට විතර පස්සේ තවත් වතාවක් කවුරු නමුත් දොරට තට්ටු කරනවා.

මයික් සැන්ඩල් ඒ අපේ කළමනාකාර මහත්මයා. ආයේ විනාඩි පහකට පස්සේ තවත් කෙනෙක් දොරට තට්ටු කළා. ඒ බොබ් කාටර් අපේ සහායක පුහුණුකරු.

මේ කුඩා හමුව කිසිවෙකු කලින් සැලසුම් කර තිබූ එකක් නෙවෙයි. නමුත් එය ඉතාම කාලෝචිත එකක් වුනා. අපි හතරදෙනාම බියර් අතේ තියාගෙන එතන ඉඳගෙන අපි අපෙන්ම විවෘත ප්‍රශ්න කිහිපයක් ඇහුවා.

අපි මොකද කරන්නේ?

මෙතනින් අපි යන්නේ කොහෙටද?

අපි අපේ නරඹන්නන්ට සහ සහයෝගය දෙන්නන්ට සාධාරණයක් කරනවා ද?

අපි හැමදෙනාම එවෙලේ පිළිගත්ත දෙයක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට තවදුරටත් ආත්මයක් කියා දෙයක් නොමැති බව.

අපි ඉතාම මහන්සි වී වැඩ කරන, නිහතමානී මිනිස්සු. හැබැයි අපිට ලැබිය යුතු තැන ක්‍රිකට් ලෝකයේ ලැබෙනවා ද?

ඒ වගේම සියලු දෙනාම පිළිගත්තා නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන නවක ක්‍රීඩකයෙකුට කණ්ඩායමට පැමිණෙන්නට සුදුසු පරිසරයක් මෙහි නැති බවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට තිබුණේ වෙනම ආධිපත්‍යයක් බවත්.

බ්‍රෙන්ඩන් මැකලම් සහ මයිකල් ක්ලාක් 2015 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර

අපි වෙනස් වෙන්න ඕන. ඔව්, අපි මේවා වෙනස් කරමු. ආක්‍රමණශීලී වෙන ගමන්ම අනිත් කණ්ඩායම් වල ගෞරවය දිනා ගනිමු.

ඒක අවුරුදු දහයකට එහා ඇදෙන මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කළ හමුවක් වුනා. මම ක්‍රිකට් දිහා බලන විදිය වෙනස් කරන්න ඒ සංවාදයට හැකියාව ලැබුණා.

එදා රෑ ගත්ත තීරණ බොහොමයක් පසුකාලීනව නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම ධනාත්මකව බලපෑවා. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොවෙයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටම එදා රාත්‍රිය විශාල බලපෑමක් කළා.”

Brendon Mccullum – Declared ග්‍රන්ථය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<