පාපන්දු විතරයි, මද්‍යසාර තහනම්!

පාපන්දු ලෝක කුසලානය 2022

396

මෙවර පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී ඊයේ (18), කටාර් හී ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ 8 අවට බියර් අලෙවි කිරීම තහනම් කර තිබෙනවා.

මත්පැන් පානයට දැඩි ලෙස සීමා පනවා ඇති ඉස්ලාම් රාජ්‍යයක් වන මෙවර ලෝක කුසලාන සත්කාරකයින් (කටාර්) සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව FIFA සංවිධානය මගින් දන්වා තිබෙනවා.

මෙම තීරණයට කිසිවකුත් හේතු නොදක්වනා නමුත්, කටාර් පාලක පවුල මෙම තීරණය පිටුපස සිටින බව විදෙස් මාධ්‍ය මගින් අනුමාන කරනවා.

මෙම තීරණය සමඟ FIFA  සහ ප්‍රධාන ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහී බියර් නිෂ්පාදන ආයතනය වන AB InBev අතර ඇති ගනුදෙනුවට යම් බලපෑමක් ඇති වීමට ඉඩකඩ පවතින බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩාංගණවල වාතාවරණය සිය පාලනයෙන් ඉවතට ගිය නිසා, ක්‍රීඩාංගණවල සිදු කිරීමට සැලසුම් කර තිබූ සමහර දේවල් සිදු කළ නොහැකි වන බව ඔවුන් (AB InBev) AFP පුවත් සේවය සමඟින් පවසා තිබුණා.

“කටාර් හී 2022 FIFA ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අසලින් බියර් විකුණුම් ස්ථාන ඉවත් කරනවා” යන බවත්, රසික කලාපවල (fan zones) දී මද්‍යසාර භාවිතයට ඉඩ ලබා දීමට සූදානම් බවත් FIFA නිවේදනයේ සඳහන් වී තිබුණා.

මේ අතර මේ සිදුවීමත් සමඟ සත්කාරකයින් විසින් ලබා දුන් අනෙකුත් පොරොන්දු පිළිබඳව ද සැලකිලිමත් වීමට සිදු වී ඇති බව රසික කණ්ඩායම් විසින් පවසනවා.

“සැබෑම ගැටලුව වෙන්නේ මේ වගේ ලොකු ප්‍රශ්නයක් ගැන ගත්තු තීරණ අවසාන මොහොතේ වෙනස් කිරීමයි. එය සංවිධායකයින්ගේ දුර්වලතාවයක්.

ඔවුන්ට පුළුවන් නම් කිසිම පැහැදිලි කිරීමකින් තොරවම මේ වගේ තීරණ වෙනස් කරන්න, අපිට ගැටලුවක් තියෙනවා ඔවුන් ඔවුන්ගේ අනිත් පොරොන්දුත් හරි ආකාරයෙන් ඉටු කරාවි ද කියලා.”
එංගලන්ත පාපන්දු ආධාරකරුවන්ගේ සංගමය විසින් එලෙස මෙම තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පල කර සිටියා.

මේ වන විටත් තමන්ට සීමිත තැන් කිහිපයක දී පමණක් මද්‍යසාර භාවිතයට ඉඩ ලබා දී තිබිය දීත් මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව ප්‍රේක්ෂකයින් සිය කනස්සල්ල පළ කර සිටියා.

ඉක්වදෝරයේ සිට පැමිණි පාපන්දු රසිකාවියක් විසින් ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබුණා,
“ඒක හරිම කණගාටුදායකයි, ඔබ දන්නවා මේ කාලගුණය වගේම, අපිට තියෙන උද්‍යෝගයත් එක්කම අඩුම තරමේ එක බියර් එකක්වත් අවශ්‍යයි.”

එමෙන්ම මේ තීරණය ගන්නා මොහොත වන විටත් ක්‍රීඩාංගණ අවට බියර් කූඩාරම් දුසිම් ගණනින් පිහිටුවා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් කටාර් රාජ්‍ය විසින් ඩොලර් බිලියන දහස් ගණනක් වියදම් කර ඇති අතර, දින 29ක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් මිලියනයකට අධික ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් කටාර් වෙත පැමිණෙනු ඇතැයි අනුමාන කර තිබෙනවා.

මීට පෙර මෙවර ලෝක කුසලානය සංවිධායක කමිටු ප්‍රධානී Naser Al-Khater විසින් (පසුගිය සැප්තැම්බරයේ දී) ප්‍රකාශ කළේ බියර් සම්බන්ධ ගැටලුවේ දී කටාරය අසාධාරණ ලෙස විවේචනයට බඳුන් වන බවයි.

“මම හිතන්නේ ක්‍රීඩාංගණවල මත්පැන් අලෙවිය ගැන වැරදි මතයක් තියෙනවා, අපි වැඩ කරන්නෙත් වෙනත් ඕනෑම ලෝක කුසලානයක කරන විදිහටම තමයි. මේක සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි, අනිත් ලෝක කුසලාන වගේම,” Naser විසින් එදා ප්‍රකාශ කළේ ඒ ආකාරයෙනුයි.

AB InBev සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව FIFA මගින් වසරකට ඩොලර් මිලියන ගණනින් ආදායම් ලබන අතර, නිල ස්ථානවල විකිණෙන එකම බියර් වර්ගය Budweiser නම් වේ.
තරගාවලි සංවිධායකයින් විසින් AB InBev මගින් දක්වන අඛණ්ඩ සහයෝගය මෙන්ම, තේරුම් ගැනීම ද අගය කරන බවත් FIFA විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

මෙම තීරණය ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් ගනු ලැබූවක් බව ලෝක කුසලානය කාර්‍ය මණ්ඩලයට පවසා ඇති බවත්, නමුත් එය කටාර් හී එමීර් වරයාගේ (Tamim bin Hamad Al-Thani) සහෝදරයකුගේ මැදිහත් වීමෙන් ගත් තීරණයක් බවත් විදෙස් පුවත් පත් කිහිපයකින්ම හෙළිදරව් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ අනුව ක්‍රීඩාංගණවල VIP කුටිවල, දෝහා හී FIFA රසික කලාප තුල (FIFA fan zone in Doha), පෞද්ගලික රසික කලාප තුල, හෝටල් සහ අවන්හල් බාර් 35කින් පමණක් බියර් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

foxsports ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<