මදුශංකගේ පන්දුවෙන් දැවී ගිය Warnerගේ කෝපයට හේතුව

ICC Cricket World Cup 2023

15692
David Warner, Sri Lanka Cricket, Australia Cricket, ICC Cricket World Cup 2023, CWC23, Dilshan Madushanka, Sadeera Samarawikrama, LBW, DRS, Hawk-Eye, Joel Wilson, India, Frustration, Angry, Umpires Stat, Mitchell Starc, Mitchell Marsh, Kusal Janith Perera, Featured, Free, Cricket

පසුගිය සඳුදා (16) ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warnerහට ලැබුණු දැවී යාමේ තීරණය පිළිබඳ Warner දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

සඳුදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 210ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගලය වූ Mitchell Marsh සහ David Warner විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක සබඳතාවක් පිහිටුවනු ලැබුවා. මෙහි දී ලකුණු 11ක් ලබා සිටි Warner ඩිල්ශාන් මදුශංකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී ගියා.

මෙහි දී ඩිල්ශාන් විසින්‍ යොමු කළ පන්දුවක් Warnerගේ පා ආවරණයේ වැදුණු අතර විනිසුරු Joel Wilson විසින් එය දැවී යාමක් ලෙස සටහන් කළා.

නමුත් එය Warnerගේ පා ඉන්න පෙදෙසට ඇදී යමින් තිබූ පන්දුවක් නිසා Warner විසින් වහාම එම තීරණය නැවත සලකා බැලීම සඳහා තෙවැනි විනිසුරු වෙත (DRS) යොමු කළා. එහි දී දර්ශනය වුනේ පන්දුව කඩුල්ලේ පා ඉන්නේ යාන්තමින් දැවටෙමින් ඇදී යන බවයි. ඒ අනුව Umpires Call අවස්ථාව යටතේ Warner හට පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

නමුත් Warner විසින් එයට එතරම් හොඳ මට්ටමේ ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ඔහු පිත්තෙන් ක්‍රීඩාංගණයට පහර එල්ල කරමින් වාචිකව යම් යම් දෑ පවසමින් අකමැත්තෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන ආකාරයකුයි කැමරා කාචයට හසු වුනේ.

පසුව ඊයේ (17) දිනයේ දී මේ සිදුවීම පිළිබඳ සහ තම කෝපයට හේතුව පිළිබඳ Warner විසින් පැහැදිලි කර තිබුණා.

“මම බොහෝ කලකිරීමෙන් කෑගැසුවා. සාමාන්‍යයෙන් පාදයේ පිටතින් වදිද්දී එය බොහෝ දුරට පාදයෙන් ඉවතට යන බව මම දන්නවා. මම එතන දී Joelගෙන් ඇහුවා මොකක්ද වුනේ සහ ඇයි මම දැවී ගියේ කියලා. ඔහු කිව්වා පන්දුව ආපසු දෝලනය (කඩුල්ල තුළට) වුනා කියලා.

ඒ පුනරූපනය ගැන මගේ දැක්ම අනුව එය දැවී යාමක් නොවේ. පුනරූපනයෙන් එය සිදු වුනු ආකාරය දකිද්දී ටිකක් තරහ යනවා.”

කෙසේ වෙතත් Umpires Call අවස්ථාවල දී විනිසුරුගේ තීරණය ආරක්ෂා වනවා. නමුත් පිතිකරුවන්ගේ පිතිකරණ දක්ෂතා මෙන්ම, විනිසුරුවන්ගේ තීරණ ලබා දීමේ දක්ෂතාවට ද විශේෂ අවධානයක් ලැබිය යුතු බවයි Warner පවසන්නේ.

“ඔබ පිතිකරණයට යද්දී, ක්‍රීඩක දත්ත (Stat) තිරයේ ප්‍රදර්ශනය කරනවා. ඔවුන් විනිසුරුවන් නිවේදනය කරද්දී ම කැමතියි ඔවුන්ගේ දත්තත් තිරයෙන් දකින්න ලැබෙනවා නම්. අපි NRL (National Rugby League), NFL (National Football League) ලීග්වල දී ඒක දකිනවා. ඒක ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙනවා නම් වටිනවා කියලා මම හිතනවා.”

තම අදහස මගින් ක්‍රිකට් විනිසුරු මඩුල්ල තුළ පක්ෂග්‍රාහී තීරණ ලබා දෙන අය සිටින බව පැවසීමට උත්සාහ නොකරන බවත් Warner විසින් අවධාරණය කරනවා.

“පන්දුව පාදයේ වැදුණු විට 50-50 තීරණ ලබා දෙන්නේ කවුද කියලා ඔබ දන්නවා. ඒ වෙලාවේ දී තමයි මගේ දැක්ම අනුව කලකිරීමට පත් වෙන්නේ. පක්ෂග්‍රාහී වගේ දෙයක් එතන නැහැ. එය ක්‍රීඩකයකු ලෙස පමණක් සමහර වෙලාවට දැනෙන දෙයක්.

යම් වගවීමක් තිබිය යුතුයි. ඔබ ගත් තීරණය වැරදියි නම් එය පිළිගෙන සමාව ඉල්ලන්න. ක්‍රීඩකයින් ඔබගේ ඔළු කන්නේ නැහැ.

ඒ වගේම ප්‍රශ්නයක් ඇහුවා කියලා විනිසුරුවනුත් ඔබේ ඔළු කන්නේ නැහැ. ඔවුන් ඇත්තටම අවංකයි.”

මේ අතර Warner විසින් මෙම විනිසුරු තීරණ නැවත සලකා බැලීම වෙනුවෙන් යොදා ගන්නා තාක්ෂණික උපක්‍රම (Hawk-Eye) පිළිබඳ අදහස් පළ කරමින් සඳහන් කළේ, තමන්ට මෙම තාක්ෂණය පිළිබඳ කිසිදා නිවැරදි පැහැදිලි කිරීමක් නොලැබුණු බවයි.

නමුත් මේ පුවත වාර්තා කරන ESPN Cricinfo විසින් සඳහන් කරන්නේ, Warner විසින් සිදු කරන චෝදනාව (තාක්ෂණික උපක්‍රම පිළිබඳ) නිවැරදි නොවන බවත්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට මේ පිළිබඳ පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ම ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

එමෙන්ම එදා තරගයේ දී Warnerගේ මේ දැවී යාම පිළිබඳ සඳහන් කිරීමේ දී ඊට ආසන්න අයුරින් ම (Umpires Call යටතේ) දැවී යාමට සිදු වූ සදීර සමරවික්‍රම පිළිබඳව ද අමතක කළ නොහැකි. ඒ මොහොතේ සදීරගේ අවාසනාවන්ත දැවී යාම ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීමට ද විශාල හේතුවක් වුනා.

මේ අතර මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ දී කුසල් ජනිත් පෙරේරා හට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc විසින් අවස්ථා කිහිපයක දී ම ඔහු (කුසල්) පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා සිටීම පිළිබඳ අනතුරු අඟවන අයුරු ද දකින්නට ලැබුණා. මේ පිළිබඳ ව ද Warner විසින් අදහස් පළ කර තිබුණා.

ඔබ කිසිවෙකුට අනතුරු අඟවයි නම් ඔබ හිතන්නේ ඔවුන් නැවත එය නොකරාවි කියලා. එය ඇත්තටම නොදැනුවත්කම සහ අහංකාරබව පිළිබඳ කදිම උදාහරණයක්.”

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo සහ Wisden ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<