ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

338

අපචාර චෝදනා එල්ලව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලක සඳහා පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට, එම සිදුවීම සඳහා පත් කළ ස්වාධීන විමර්ශන කමිටුව විසින්, තීරණය කර තිබෙනවා. 

2022 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර ඔහුට මෙම චෝදනාව එල්ල වූ අතර එම චෝදනාව සඳහා සිදු කළ නඩු විභාගයකින් අනතුරුව ඔහුට ඇති චෝදනා ඉවත් කිරීමට නිව් සවුත් වේල්ස් අධිකරණය කටයුතු කළා. 

ඒ අනුව ඔහු මෙම ඔක්තෝබර් 03 වැනිදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුගේ ක්‍රිකට් තහනම පිළිබඳ තීරණය ගැනීම විමර්ශන කමිටුව සතු වුනා. 

ඔහුගේ සිදුවීම පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමෙන් පසුව ඔහුට එලෙස පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඔහුට නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට අවසර ලබා දී තිබෙනවා. 

එම විශේෂ විමර්ශන කමිටුවේ ප්‍රධානත්වය හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා විසින් දැරූ අතර නීතිඥ නිරෝෂන පෙරේරා මහතා සහ නීතිඥ අසේල රේඛාවක කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළා.  

මෙම තීරණය ඔක්තෝබර් 13 පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී තහවුරු කළ අතර මෙම තීරණය සමඟ ධනිෂ්ක ගුණතිලකට නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට අවස්ථාව හිමි වෙනවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<