වාර්තා 5ක් සමඟ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඇරඹෙයි

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

309

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 63 වැනි අදියර අද (07) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

දින හතරක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු දිනයේ දී නව තරගාවලි වාර්තා පහක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වීම විශේෂත්වයක්.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දැක්වූ දස්කම් එලෙසම පවත්වා ගෙන වයස අවුරුදු 18න් පහළ රිටි පැනීම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට තුෂේන් සිල්වාට හැකි වුනේ මීටර් 4.50ක දස්කමක් දක්වමිනුයි.

16න් පහළ මීටර් 300 කඩුලු පැනීම ඉසව්ව තත්පර 40.55ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන ඒ. සංදීප සමත් වුනා.

එම ඉසව්වේ බාලිකා ඉසව්වේ ආධිපත්‍ය පැතිර වූ අඹගමුව විද්‍යාලයේම එස්. හිමාෂානි නව තරගාවලි වාර්තාවක් පිහිටවූ අතර ඇය එම ඉසව්ව සඳහා වාර්තා කළ කාලය තත්පර 47.3ක් ලෙස සඳහන් වුනා.

බාලිකා 20න් පහළ මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 14.45ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඩී. කහන්ගමට හැකි වූ අතර 23න් පහළ තරගය තත්පර 14.51ක කාලයකින් අවසන් කර එහි තරගාවලි වාර්තා බිඳ හෙළීමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ එල්. දිසානායක සමත් වුනා.

23න් පහළ බාලිකා මීටර් 200 අවසන් තරගය අද ක්‍රියාත්මක වූ අතර තත්පර 25.37ක කාලයකින් තරගය අවසන් කරමින් එම ඉසව්ව ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන වයි. දහනායකයි.

>> තරගාවලියේ පළමු දින ප්‍රතිඵල සටහන << 

තරගාවලියේ දෙවැනි දිනයේ තරගය හෙට (08) ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර හෙට දිනයේ සහ තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<