ශ්‍රී ලංකාව සමඟ ලෝක කුසලානයට යන කණ්ඩායම තෝරා ගන්නේ මෙහෙමයි

World Cup Qualifiers 2023

5952

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටයට අදාළ ව ඊයේ (04) දිනයේ පැවැත්වුණු සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක පරාජයක් ලද සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සහමුලින්ම නිමාව දුටුවා. 

නමුත් එම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලි ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වූ ස්කොට්ලන්තය (ලකුණු 6) සහ මේ වන විට ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ රැඳී සිටින නෙදර්ලන්ත කණ්ඩායමට (ලකුණු 4) තවමත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඉතිරි වී තිබෙනවා. 

මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ සිටින ශ්‍රී ලංකාව (ලකුණු 8) එක් තරගයක් ඉතිරි ව තිබිය දී ම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර තරගාවලියේ මුල් භාගයේ ඉතා ප්‍රබල අන්දමින් ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම (ලකුණු 6) දැන් පසු වන්නේ ලකුණු සටහනේ තෙවන ස්ථානයේ යි. 

ඕමානය සමඟ පැවැත්වුණු තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමට ඉතිරි වී තිබූ තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීම මගින් පවා අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව ඉතිරි වී තිබූ නමුත් ඔවුන් එම තරග දෙක ම පරාජය වුනා. එම පරාජයන් ද්විත්වය නිසා ඔවුන්ගේ දළ ලකුණු වේගය (NRR) -0.099ක් දක්වා පහත බැස තිබෙනවා. 

මේ අනුව මෙම තරගාවලියේ සුපිරි හය වටයේ පැවැත්වීමට ඉතිරි වී ඇති තරග තුනෙන් ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා කවුරුන්ද යන වග තහවුරු කර ගත හැකියි. 

මෙහි දී නෙදර්ලන්ත – ස්කොට්ලන්ත තරගයෙන් ස්කොට්ලන්තය ජයග්‍රහණය කළ හොත් ඔවුන් අනිවාර්යයෙන් ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත. 

කෙසේ වෙතත් නෙදර්ලන්ත කණ්ඩායම එම තරගය ජයග්‍රහණය කළ හොත් ස්කොට්ලන්තය, නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් තුනම ලකුණු 6 බැගින් ලබා ගනිමින් සම ලකුණු මට්ටමකට පැමිණෙනවා. 

එවන් අවස්ථාවක දළ ලකුණු වේගය අනුව කණ්ඩායම් වල ස්ථානය තීරණය වන අතර මෙහි දී සිම්බාබ්වේ කණ්ඩායම ඉතා අවම දළ ලකුණු වේගයක් සහිතව සිටින නිසා ඔවුන්ට තරගාවලියට නැවත පිවිසීමේ කිසිඳු අවස්ථාවක් ඉතිරි වී නැහැ. 

කෙසේ වෙතත් නෙදර්ලන්ත කණ්ඩායම එම තරගය යම් සීමාවක් තුළ ජයග්‍රහණය කරයි නම් ඔවුන්ට අවසන් මහා තරගය වෙත පිවිසීමේ අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා. 

ස්කොට්ලන්ත – නෙදර්ලන්ත තරගයේ දී නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 250ක් ලබාගනිමින් ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 32කින් හෝ ඊට ඉහළ ලකුණු ප්‍රමාණයකින් ජය ලැබුව හොත් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට නෙදර්ලන්තයට හැකියාව ලැබෙනවා. 

එමෙන්ම ස්කොට්ලන්තය විසින් පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 250ක් රැස් කළ හොත් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට නම් නෙදර්ලන්තය විසින් එම ඉලක්කය පන්දුවාර 44 එක් පන්දුවක් තුළ හඹා යා යුතු වනවා. 

(නමුත් මෙය උදාහරණයක් පමණක් බවත් තරගයේ දී වාර්තා වන ලකුණු ප්‍රමාණය අනුව අදාළ අවශ්‍යතා වෙනස් වනු ඇති බවත් සැලකිල්ලට ගත යුතුයි.) 

එවැනි ජයග්‍රහණයක් ලබා ගත හොත් පමණක් නෙදර්ලන්තයට ස්කොට්ලන්තය අබිබවමින් ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගත හැකි අතර, එසේ නොමැති වුව හොත් ස්කොට්ලන්තය එම තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාව සමඟින් එළඹෙන 09 වැනි දා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.  

එමෙන්ම ඔවුන් එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙත ද සුදුසුකම් ලබා ගනු ඇත. 

නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය හෙට (06) පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<