Home Sinhala අපරාජිත සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට!

අපරාජිත සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට!

1297
Pathum Nissanka Century

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් දුරක් අපරාජිතව ඉදිරියට ආ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (02) බුලවායෝ හිදී ක්‍රියාත්මක වුනා.

එහි දී සත්කාරක දේශය පහසුවෙන්ම පරාජය කර දැමූ ශ්‍රී ලංකාව ඔක්තෝබර් මාසයේ ඇරඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්.

බුලවායෝ තණතිල්ල මත මුලින් පන්දුවට පහර දීම භයානක බව නෙදර්ලන්ත තරගයෙන් වටහා ගත් ශ්‍රී ලංකාව මෙවර තම වරද නිවැරදි කර ගත්තේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායමට පිතිකරණය සඳහා ඇරයුම් කරමින්.

පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වුනු ලහිරු කුමාර වෙනුවට අද කණ්ඩායම සතු යොවුන් වේගපන්දු තරුව වන මතීෂ පතිරණ කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබුණා.

ඒ අනුව මෙතෙක් කලක් විශාල ලකුණු පුවරු කිහිපයක්ම ගොඩ නැගූ සිම්බාබ්වේ කණ්ඩායම පිටියට පිවිසියේ අභියෝගාත්මක ලකුණක් ශ්‍රී ලංකාව ඉදිරියේ තැබීමේ අරමුණෙනුයි. නමුත් මෑතක දී LPL තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස අලෙවි වූ ඩිල්ශාන් මධුශංක තම හැකියාව යලිත් වරක් ඔප්පු කරන්නේ සිම්බාබ්වේ මුල් කඩුලු 3ම ලකුණු 30ක් තුල දී දවාලමින්.

යලිත් සිව්වැනි කඩුල්ල ලෙස Sean Williamsගේ වටිනාම කඩුල්ල ලබා ගැනීමට අතිශය පහසු අවස්ථාවක් මධුශංක උදාකර දුන්න ද, හතරේ සීමාව ආසන්නයේ සිට මතීෂ පතිරණ එම උඩපන්දුව මග හැරියා. අත හැරීමට වඩා රැක ගැනීම පහසු එම උඩපන්දුව ගිලිහී යන විට Williams ලබාගෙන සිටියේ ලකුණු 15ක් පමණයි. ලැබුණු අවසරයෙන් ඔහු Sikandar Raza සමඟ එක්වී ලකුණු 68ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් බොහොමයක් නිරුත්තර වූ මෙම සබඳතාවය බිඳ දැමීමට අවසානයේ ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකයි. ඔහු තම හිතමිත්‍ර Sikandar Razaව ලකුණු 31කට පිටියෙන් ඉවත් කරන්නේ ඩිල්ශාන් මධුශංක රැකගත් අලංකාර උඩපන්දුවක සහයෙන්. නමුත් දිගින් දිගටම ප්‍රහාරයට අර ඇඳි Williams සහ Ryan Burl ධනංජය සිල්වා ක්‍රියාත්මක කළ 21 වෙනි පන්දුවාරයේ දී හයේ පහර 3ක්ම එල්ල කිරීමට සමත් වුනා.

නමුත් සිම්බාබ්වේ මල්වෙඩි ඉක්මනින්ම නිවා දැමූ තීක්ෂණ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ගව් ගණනක් ඉදිරියෙන් සිටින Sean Williams ඇතුළු පිතිකරුවන් තිදෙනෙකු එක දිගට දවා ගන්නේ බුලවායෝ පිටියට පැමිණ නටමින් ගයමින් සිටි දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිස විමතියට පත් කරමින්. සුපුරුදු වයිඩ් පන්දු මිශ්‍රණය අද දිනයේත් දැක ගන්නට ලැබුණ ද, මතීෂ පතිරණ අද කඩුලු 2ක් සමඟින් තම වැදගත්කම ඔප්පු කළා.

මේ නිසා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීම ශ්‍රී ලංකාවට අපහසු වුනේ නැහැ. ඒ මෙවර තරගාවලියේ ප්‍රබලම පිතිකරණ බල ඇණියක් සහ ප්‍රබලම පන්දු යැවීමේ බල ඇණියක් අතර තිබූ සටනෙන් පහසු ජයක් හිමිකර ගනිමින්. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස Sean Williams ලකුණු 56ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟයි.

මෙම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට අවශ්‍ය කළේ පන්දුවාර 33.1ක් පමණයි. සුවපහසුවෙන් සිම්බාබ්වේ ඉලක්කය කරා ගිය ශ්‍රී ලංකාව ඒ අතරේ අහිමි කර ගත්තේ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල පමණයි. නමුත් දැවී යන්නට පෙරම ලකුණු 103ක සුපිරි සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ආරම්භය ස්ථාවර කරන්නට දිමුත් දායක වුනා.

ඉන් අනතුරුව උපනායක කුසල් මෙන්ඩිස් සමඟින් එක්වුනු පැතුම් නිස්සංක ඉනිමේ අවසානය දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් තරගය අවසන් කළා. ඔහු ශතකයට ආසන්න වූ මොහොතේ ජයග්‍රහණයට අවශ්‍ය වූයේ සුළු ලකුණු ප්‍රමාණයක් වූ නිසා සිතාමතාම නිලකුණු පන්දු ක්‍රීඩා කරමින් පැතුම්ට පිතිකරණ අන්තය ලබා දීමට කුසල් මෙන්ඩිස් කටයුතු කළේ ශතකයක වටිනාකම ඔහු හොඳින් දන්නා නිසයි.

අවසානයේ සිම්බාබ්වේ වයිඩ් පන්දු මගින් තම ශතකය අහිමි වීමට ඇති අවදානම හඳුනා ගත් පැතුම් නිස්සංක කඩුල්ලට සෑහෙන ඈතින් ඇදී ගිය පන්දුවක් හතරේ සීමාව කරා දක්ෂ ලෙස හරවා යැව්වේ එක්දින දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කරමින්.

පන්දු 102ක් පමණක් වැය වුනු පැතුම්ගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත් වුනා. මේ අනුව ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලානයේ මේ වනවිට අසුන් වෙන් කරගෙන අවසානයි.

Result


Zimbabwe
165/10 (32.2)

Sri Lanka
169/1 (33.1)

Batsmen R B 4s 6s SR
Joylord Gumbie c Pathum Nissanka b Dilshan Madushanka 0 5 0 0 0.00
Craig Ervine c Kusal Mendis b Dilshan Madushanka 14 13 3 0 107.69
Wesly Madhevere c Dasun Shanaka b Dilshan Madushanka 1 5 0 0 20.00
Sean Williams b Mahesh Theekshana 56 57 6 1 98.25
Sikandar Raza c Dilshan Madushanka b Dasun Shanaka 31 51 3 1 60.78
Ryan Burl b Mahesh Theekshana 16 15 0 2 106.67
Luke Jongwe lbw b Mahesh Theekshana 10 12 1 0 83.33
Wellington Masakadza not out 4 17 0 0 23.53
Brad Evans lbw b Matheesha Pathirana 14 16 2 0 87.50
Richard Ngarava b Matheesha Pathirana 0 3 0 0 0.00
Blessing Muzarabani b Mahesh Theekshana 0 2 0 0 0.00


Extras 19 (b 0 , lb 2 , nb 2, w 15, pen 0)
Total 165/10 (32.2 Overs, RR: 5.1)
Bowling O M R W Econ
Dilshan Madushanka 5 0 15 3 3.00
Dasun Shanaka 5 0 30 1 6.00
Mahesh Theekshana 8.2 1 25 4 3.05
Matheesha Pathirana 3 0 18 2 6.00
Wanindu Hasaranga 7 0 38 0 5.43
Dhananjaya de Silva 4 0 37 0 9.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 101 102 14 0 99.02
Dimuth Karunaratne c Brad Evans b Richard Ngarava 30 56 2 0 53.57
Kusal Mendis not out 25 42 2 0 59.52


Extras 13 (b 0 , lb 7 , nb 1, w 5, pen 0)
Total 169/1 (33.1 Overs, RR: 5.1)
Bowling O M R W Econ
Richard Ngarava 7 0 35 1 5.00
Blessing Muzarabani 8 0 28 0 3.50
Brad Evans 4 0 28 0 7.00
Sikandar Raza 7 0 27 0 3.86
Ryan Burl 2 0 15 0 7.50
Wellington Masakadza 5.1 0 29 0 5.69



තරගයේ වීරයා ලෙස අවශ්‍යම මොහොතේ ඉක්මන් කඩුලු 3ක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණ සම්මාන දිනා ගත්තා. ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ඔවුන් එක්දින පිටියේ පිට පිටම ජය ගත් 8 වැනි තරගයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 6 දෙනාගේ වටයේ අවසන් අභියෝගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හරාරේ හිදී තරග වැදීමට ඔවුන්ට සිදුව තිබෙනවා. ඒ ජූලි 07 වැනිදායි.

ඉන්පසු ඔවුන් සුපිරි 6 දෙනාගේ වටයේ අනෙක් ජයග්‍රාහකයා සමඟ ජූලි 09 වැනිදා අවසන් මහා තරගය වෙනුවෙන් සටන් වදිනු ඇති. තරගාවලියේ තවත් තරග 8ක් ඉතිරිව ඇති අතර එහි සුවිශේෂී අවස්ථා සහ තරග තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<