2021ට ක්‍රීඩා ඇමතිගෙන් සහතිකයක්

192

ගොඩනැගිලි සහ ඉදිකිරීම් සඳහා මූලිකත්වය දෙනු වෙනුවට ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උදා වූ නව වසර කැපකරන බවත්, ක්‍රීඩකයා වෘත්තීමය ක්‍රීඩකයෙකු බවට පත්කිරීමේ වැඩපිළිවෙළ 2021 ජනවාරි මස 01 වැනිදායින් ආරම්භ කරන බවත් ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදි.

කොරෝනා වසංගත තත්වය පරාජය කරමින් 2021 නව වසර තුළ දී ක්‍රීඩාව තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කර සංවර්ධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පියවර රාශියක් ගැනීමට අවධානය යොමු කර ඇත.

ක්‍රීඩාවට සහ යෞවන ක්‍රියාකාරකම් සඳහා වැඩි වටිනාකමක් සහ අවධානයක් ලබා දීමේ අදහසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ පසුගිය වසර තුළ දිවයින පුරා එකිනෙකට වෙනස් වූ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබුණි.

එමෙන්ම ක්‍රීඩකයන් හට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ක්‍රීඩාව සංවර්ධනයක් කරා ගෙන යෑමට අවශ්‍ය කටයුතු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සිදු වූ අතර එහි දී ආරම්භ වූ ව්‍යාපෘති කිහිපයක් 2021 වසර තුළ දී හැකි ඉක්මනින් නිමා කර ක්‍රීඩකයන් වෙත ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පසු වේ.

එමෙන්ම මෙම නව වසර තුළ දී ක්‍රීඩාවේ අනාගතය සහ ඉදිරි සැලසුම් පිළිබඳව “අරුණ” පුවත්පත සමඟින් සාකච්ඡාවකට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,

“මෙතෙක් කල් ක්‍රීඩකයා සහ පුහුණුවීම් කටයුතු සඳහා වෙන්වෙලා තිබුණේ අමාත්‍යාංශ ප්‍රතිපාදනවලින් 6% පමණයි. අනිත් සියලුම වියදම් ගියේ පඩි සහ ඉදිකිරීම්වලටයි. අපි මෙවර ජාතික ක්‍රීඩා කවුන්සිලයේ උපදෙස් අරගෙන ඉදිකීරීම් අවශ්‍යම දේකට පමණක් යොදවන්න තීරණය කළා.

ඉහළ දක්ෂතා දැක්වීම සඳහා වන විශේෂ පුහුණු කටයුතු වෙනුවෙන් අවශ්‍ය ඉදිකිරීම් පමණක් කරනවා. ක්‍රීඩා පාසල්වල මීටර් 130 කෘතීම ධාවන පථ, ටොරින්ටන් ක්‍රීඩාංගණයේ සහ කුරුණෑගල කෘතීම ධාවන පථ ඉදිකිරීම මේ වසරේ අවසන් කරනවා. යාපනය දුරෙයි අප්පා ක්‍රීඩාංගණය සංවර්ධනය සඳහා විදේශ රටක් සමඟින් සාකච්ඡා කරමින් සිටින්නේ.

එයට අමතරව සුගතදාස අධිකාරියෙන් මුදල් වෙන් කරගෙන බෝගම්බර ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය ඉදිකිරීමේ කටයුතු සූදානම් කරනවා, ඊට අමතරව අපි මේ වසරේ බහුතර ප්‍රතිදානයක් වෙන්කරලා තියෙන්නේ ක්‍රීඩකයාගේ දක්ෂතා සංවර්ධනය කරන්න මිසක් ගොඩනැගිලි හදලා නම ගහන්න නෙවෙයි.

තවත් ක්‍රීඩා පුවත්: 

මීට අමතරව මේ වන විට මෙරට පවතින ක්‍රීඩාංගණ ගණනෙහි කිසිදු අඩුවක් නොමැති බවත්, ඒවායේ තත්වය ඉහළ නංවමින් ක්‍රීඩාවට යෝග්‍ය මට්ටමට ගෙන ඒම සහ අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම ප්‍රමාණවත් බව ද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසර තුළ දී උතුරු, නැගෙනහිර ඇතුළු පළාත් සියල්ලෙහිම ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවන් හා එක් වූ අතර එහි දී නිරීක්ෂණයට ලක්වූ අක්‍රමවත් සහ අතරමග නතර කර දැමූ ව්‍යාපෘති පිළිබඳව වාර්තාවන් රැස් කරමින් ඒවා නියමිත ප්‍රමිතියට හැකි ඉක්මනින් ගෙන එන ලෙස ද උපදෙස් ලබා දෙන ලදි.

එමෙන්ම ක්‍රීඩකයෙකු මුල් අවධිය වූ පාසල වෙත අවධානය යොමු කළ ක්‍රීඩා අමාත්‍යවරයා ග්‍රාමීය පාසල් ඇතුළු සියලුම පාසල්හී යටිතල පහසුකම් සංවර්ධනය කර වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම යොදන ලෙස ද උපදෙස් ලබා දීමට පසුගිය වසරේ දී කටයුතු කරන ලදි.

එමෙන්ම නගරයට සීමා වූ ක්‍රීඩාව ගම් තුළට ගෙන යෑම ද ප්‍රධාන ඉලක්කයක් කර ගත් එතුමා රට වටා ඇති ක්‍රීඩා පිටි නියමිත ප්‍රමිතියට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර ක්‍රීඩාව උදෙසා රාජ්‍ය අමාත්‍යාංශය හරහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙතම රුපියල් ලක්ෂ 50 බැගින් පිරිනැමීමට ද කටයුතු සූදානම් කර ඇත.

මින් පෙර නාගරික ප්‍රදේශයන්ට පමණක් සීමා වූ ක්‍රීඩා පහසුකම් පුළුල් වීම තුළින් ග්‍රාමීය ප්‍රදේශයන්හී සිටින දක්ෂ ක්‍රීඩකයන් හට අකාලයේ පරව නොගොස් මෙරට ක්‍රීඩාවේ අනාගතයට උර දීමට විශාල අවස්ථාවක් හිමි වනු ඇත.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<