සාරංගි වාර්තාවක් බිඳ දමද්දී 200M කිරුළ කාලිංගට

98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය- 2020

392

මෙරට මලල ක්‍රීඩා පිටියේ වසරක විවේකය නිමාවට පත්කරමින් 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය අද (26) කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටි‍යේ දී ආරම්භ විය.

තරගාවලිය ආරම්භ කරමින් පැවති ප්‍රථම ඉසව්ව වූ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා තරගය සිය ආධිපත්‍යට නතු කරගත් එම ඉසව්වේ වත්මන් ශූරිය වන නිලානි රත්නායක මිනිත්තු 10:15.86ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ටී. උදය කුමාරි (11:13.35) සහ එන්. කුමාරි (11:36:02) හට හිමි විය.

මීටර් 5000 පිරිමි ඉසව්ව මිනිත්තු 14:29.45ක කාලයකින් අවසන් කරමින් පහසු ජයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩක ආර්. එම්. එස්. පුෂ්පකුමාර සමත් වූ අතර ගුවන් හමුදා ක්‍රීඩක කේ. තරංග (14:36.39) සහ එම්. සමරකෝන් (14:46.07) පිළිවෙළින් දෙවන සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා ලදි.

ඉන් පසුව සියල්ලන්ගේම අවධානය දිනා ගත් ඉසව්වක් වූ පිරිමි දුර පැනීම ඉසව්වේ, මීටර් 7.71ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රේශාන් ධනංජය සමත් වූ අතර මීටර් 7.59 දස්කමක් දැක්වූ කේ. කරුණාසේකර දෙවැනි ස්ථානය සහ මීටර් 7.58ක දස්කමක් දැක්වූ ජී. සම්පත් තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

අද පැවති විසිකිරීමේ ඉසව්වන්ගේ යගුලිය විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ යුද හමුදා ක්‍රීඩක එස්. එම්. ප්‍රනාන්දු මීටර් 16.12ක දස්කමක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 15.07ක දස්කමක් දැක්වූ සමිත ජයවර්ධන රිදී පදක්කමත්, මීටර් 14.07ක දස්කමක් දැක්වූ එම්. එම්. පෙරේරා ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සිය ආධිපත්‍ය රැක ගැනීමට සමත් වූ ජාතික ශූර සුමේද රණසිංහ මීටර් 76.10ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර දෙවන හා තෙවැනි ස්ථාන එල්. දයාරත්න (මීටර් 71.86) සහ රංජිත් නුවන් කුමාර (මීටර් 69.43) විසින් දිනා ගන්නා ලදි.

ඉන්පසුව පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ මීටර් 6.33ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට දකුණු ආසියානු පදක්කම්ලාභී සාරංගි සිල්වා සමත් වූ අතර අංජානී පුල්වංශ (මීටර් 6.06) සහ එස්. උපේකා (මීටර් 5.63) එම ඉසව්වේ දෙවන සහ තෙවැනි ස්ථාන ජයග්‍රහණය කළහ.

තරගාවලියේ වඩාත්ම අවධානය දිනා ගත් ඉසව් කිහිපයෙන් එකක් වන මීටර් 200 තරග ආරම්භ කරමින් කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 24.15කින් අවසන් කරමින් පසුගිය වර අහිමි වූ කිරුළ දිනා ගැනීමට නදීශා රාමනායක සමත් විය. එම තරගය තත්පර 24.30කින් අවසන් කළ ෆාතිමා ශෆියා රිදී පදක්කමත්, තත්පර 24.83කින් අවසන් කළ එස්. එච්. ප්‍රනාන්දු ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

දිනයේ අවසන් ඉසව්ව මෙන්ම වඩාත්ම අවධානය දිනා ගත් ඉසව්ව වූ පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 20.79ක කාලයකින් අවසන් කරමින් කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට කාලිංග කුමාර සමත් විය.

එම ඉසව්ව තත්පර 21.41කින් අවසන් කළ මොහොමඩ් සෆාන් රිදී පදක්කමත්, තත්පර 21.49කින් ඉසව්ව අවසන් කළ යොවුන් ක්‍රීඩක අරුණ දර්ශන ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් වූ අතර එම ඉසව්වේ හිටපු ශූරයා මෙන්ම ජාතික වාර්තාවට හිමිකම් කියන විනෝජ් සුරංජය හයවැන්නා ලෙස තරගය අවසන් කළේය.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර තරගාවලිය සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කළ අතර තරගාවලියේ දෙවැනි දිනයේ තරග හෙට (27) උදෑසන කොළඹ සුගතදාස එළිමහන් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ දෙවන දිනයේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<