හෙට (17) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල සාන්ත ආනා විදුහල අතර 34 වන “ඇතුගල්පුර සටන” පැවැත්වේ.

“ශූරතාවය මලියදේවයට ලබා ගැනීම අපේ අරමුණයි” – දමිත් සිල්වා

5 වන වරටත් ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහකත්වයත් සමඟින් පැවැත්වෙන 34 වන “ඇතුගල්පුර සටන” කුරුණෑගල මලියදේව විදුහල සහ සාන්ත ආනා විදුහල අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී හෙට (17) ආරම්භ වේ..

සාන්ත ආනා කණ්ඩායමේ නායක වනිත වන්නිනායක ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයෙකි. වයඹ පළාත් 19න් පහළ කණ්ඩායම නියෝජනය කල ඔහු පසුගිය වසරේ අන්තර් පළාත් 19න් පහළ ශූරතාවය වයඹ පළාතට දිනා ගැනීමට තම දායකත්වය උපරිමයෙන් ලබා දුන් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහු මෙවර පාසල් ක්‍රිකට් වාරය තුල අවුරුදු 19න් පහළ දෙවන කාණ්ඩය යටතේ තරග කර, ලකුණු 827ක් ද ලබාගෙන ඇති ක්‍රීඩකයෙකි. එයට සිය පිත්තෙන් ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් ද එකතු කරන්නට ඔහු සමත් විය. එයින්ම ඔහුගේ පිතිකරණ දක්ෂතාවය මනාව විදහා දැක්වේ. සාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ලබා ගත් ලකුණු 139 ඔහු ලබා ඇති ඉහලම ලකුණු ලබා ගැනීම ලෙස සටහන් වේ. මෙම පාසල් ක්‍රිකට් වාරය තුල වනිතගේ නායකත්වය යටතේ සාන්ත ආනා කණ්ඩායම පූර්ණ ජයග්‍රහණ 5ක් ලබා ගැනීමට සමත් වී ඇත. ඒ රාහුල විදුහල, කඳාන ද මැසනෝද් විදුහල, දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහල, මීගමුව සාන්ත පීතර විදුහල සහ මාරවිල සාන්ත ශේවියර් විදුහලට එරෙහිව යි. සාන්ත ආනාවන් අන්තර් පාසල් 19න් පහළ පන්දුවාර 50 තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ තරග කල අතර, එහි දී අර්ධ අවසන් පූර්ව තරගයේ දී පානදුර සාන්ත ජෝන් විදුහල පරාජය කරමින් එම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.

සාන්ත ආනා කණ්ඩායමේ උපනායක රන්දීර රණසිංහ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මෙවර පාසල් තරග වාරය තුල ලකුණු 441ක් රැස් කරගෙන ඇත. ඔහුගේ හොඳම ලකුණු ලබා ගැනීම ලකුණු 113ක් ලෙස සටහන් වේ. පිත්තට අමතරව, මද වේග පන්දු යවන්නෙකු ලෙස තම පන්දුවෙන් ද කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දුන් රන්දීරට කඩුලු 24කින් සිය කඩුලු මල්ල තරකර ගැනීමට ද හැකියාව ලැබී ඇත.

වමත් ආරම්භක පිතිකරු විමුක්ති බණ්ඩාර ලකුණු 441ක්ද, පුබුදු ගනේගම ලකුණු 382ක්ද ලබාගෙන සාන්ත ආනා මුල්පෙළ පිතිකරුවන් අතර ඉදිරියෙන්ම පසුවේ. තරින්ද විජේසිංහ, සචිත ජයසේකර, දිනෙත් චන්දිමාල් සහ ධනංජය බණ්ඩාර ආනාවන්ගේ පිතිකරණය ශක්තිමත් කරන සෙසු පිතිකරුවන් වේ.

සාන්ත ආනාවන්ගේ හොඳම පන්දු යවන්නා වන්නේ වමතින් දඟ පන්දු යවන පියුමාල් සිංහවංශ යි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් වාරය තුල මේ වන විට බිඳ දමා ඇති කඩුලු ගණන 55කි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ මීගමුව සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 35කට කඩුලු 7ක් බිඳ හෙලීමයි. මීට අමතරව දඟ පන්දු යවන ක්‍රීඩක පුබුදු ගනේගමට ද ප්‍රතිවාදී කඩුලු 48ක් බිඳ හෙළීමේ වරම් හිමි වී ඇත. තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු රණසිංහ ද කඩුලු 21ක් බිඳ හෙළමින් සිය කණ්ඩායමට දායකත්වය ලබා දී ඇත.

සාන්ත ආනා විදුහල අවස්ථා 4ක දී ලකුණු 300ට වඩා ලබාගෙන ඇති අතර, වැඩිම ලකුණු ලෙස වාර්තා වන්නේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 408යි. සාන්ත ආනා විදුහලේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරන්නේ එන්. සී. නිශ්ශංක මහතා ය. පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සාන්ත ආනා විදුහලේ හිටපු ක්‍රිකට් නායක චානක එදිරිවීරගේ ය.

සාන්ත ආනා නායක වනිත වන්නිනායක ඇතුගල්පුර සටන පිලිබඳ මෙලෙස අදහස් දැක්විය.

wanitha“මලියදේව කණ්ඩායමේ ඉන්නේ අපේ ගොඩාක් හොඳ යාලුවෝ. ඔවුන් ඇත්තටම මේ වන විට ගොඩක් හොඳ මට්ටමක ඉන්නවා. අපි පන්ති වල දී, ක්‍රීඩා සමාජවල දී එකට ඉන්නවා. එකට සෙල්ලම් කරනවා. ඒ නිසා අපි හොඳින්ම දන්නවා ඔවුන් කවුරුන්ද  කියල. ඉතින් මේ යාළුකම මේ විදියටම දිගටම තියාගෙන යන්න කියල සහ මේ දවස් තුනම ගොඩක් සුහදව අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියල තමයි විදුහල් දෙකේම සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ.”

වනිතගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා යැයි සුබ පැතුම් එකතු කරමින් අපි කුරුණෑගලින් පිටත් වූයේ යලි හෙට (17) සිට ඇතුගල්පුර සටනේ තතු ThePapare.com තුලින් ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙනි.

සාන්ත ආනා සංචිතය

වනිත වන්නිනායක (නායක), රන්දීර රණසිංහ (උප නායක), පුබුදු ගනේගම, තරින්ද විජේසිංහ, විමුක්ති බණ්ඩාර, පියුමාල් සිංහවංස, පුබුදුශාන් සේදර, අහමඩ් සෆ්නි, කාවින්ද ඒකනායක, රුවන්ත රන්දික, සචිත් ජයසේකර, භාෂිත ජයසුන්දර, කවිඳු රණසිංහ, විශ්වමාල් හේරත්, සුලක්ෂණ මධුසිත්, ධනංජය බණ්ඩාර, හිරුෂ ද සිල්වා, ලක්ෂිත ද සිල්වා, ක්‍රිෂාන්ත පියතිලක, දිනෙත් චන්දිමාල්

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න