Tamim Iqbal T20 පිටියට තාවකාලිකව සමුදෙයි

686

ඉදිරි මාස 6ක කාලය සඳහා තමන්ව පන්දුවාර විස්ස කණ්ඩායම සඳහා ඇතුළත් කර නොගන්නා ලෙස බංග්ලාදේශ සුපිරි ආරම්භක පිතිකරු Tamim Iqbal එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා.

නමුත් මෙම වසරේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් සිදු කළහොත් තමන් ඒ පිළිබඳව නැවත සලකා බැලීමට සූදානම් නමුත් එලෙස කිරීමට අවශ්‍ය නොවන බව තමන් විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Nazmul Hassan සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව Tamim Iqbal මෙම තීරණය ප්‍රකාශ කර තිබූ අතර Nazmul විසින් මෙම තීරණය වළක්වාලීමට විශාල උත්සහයක් ද ගෙන තිබුණා.

බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක් වූ Tamim Iqbal පසුගිය කාලසීමාවේ දී විස්සයි විස්ස පිටියෙන් තරමක් ඈත්ව සිටි අතර මාස 12ක පමණ කාලයක් ඔහුව විස්සයි විස්ස කණ්ඩායමේ දැක ගැනීමට ලැබුණේ නැහැ.

මේ පිළිබඳව බ්‍රහස්පතින්දා (27) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් Tamim Iqbal ප්‍රකාශ කර සිටියේ ඔහු මෙම වසරේ දී එක්දින සහ ටෙස්ට් තරගවලට වැඩි අවධානයක් ලබා දීමට සූදානමින් පසුවෙන බවත්, විස්සයි විස්ස කණ්ඩායමේ දුර්වලතාවක් මතු වූවෝත් පමණක් තම තීරණය පිළිබඳව නැවත සලකා බලන බවයි.

“මගේ විස්සයි විස්ස ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කළා. පසුගිය දින කිහිපයේ දී බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වුනා. ඔවුන්ට අවශ්‍ය වුනේ මේ වසරේ ලෝක කුසලානය වෙනකම් මාව තියාගන්න. ඒත් මට වෙනස් අදහසක් තිබුණා.

මම ඉදිරි මාස 06 සඳහා විස්සයි විස්ස තරග ගැන සලකා බලන්නේ නැහැ. අපි ලෝක ටෙස්ට් ශූරතාවයට සහ 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ගැන අවධානයෙන් ඉන්නේ. ඒ නිසා මම ඒ මාස 06 විස්සයි විස්ස තරග ක්‍රීඩා කරන්නේ නැහැ.

මම විශ්වාස කරනවා අනිත් ක්‍රීඩකයින් විස්සයි විස්ස තරග හොඳින් ක්‍රීඩා කරයි කියලා. මාව ඔවුන්ට අවශ්‍ය වෙන එකක් නැහැ. ඒත් කණ්ඩායමට හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයට මාව අවශ්‍ය නම් මම සූදානම් ඒ ගැන ආයෙත් හිතලා බලන්න”, යැයි ඔහු ප්‍රකාශ කළා.

Tamim Iqbal නිමා වූ 2021 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ද කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ අතර යොවුන් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීම සඳහා ඔහු මෙම තීරණය ගත් බව ප්‍රකාශ කර තිබුණා.

2020 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගය Tamim අවසන් වරට බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කළ අවස්ථාව වූ අතර එයින් පසුව ඔහුට ආබාධයක් නිසාවෙන් කෙටි කලක් පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

විස්සයි විස්ස පිටියේ බංග්ලාදේශය වෙනුවෙන් තෙවැනියට වැඩිම ලකුණු ලාභියා ඔහු වන අතර විස්සයි විස්ස තරග 78ක් සඳහා බංග්ලාදේශය නියෝජනය කර ඇති ඔහු බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් ලබා ගත් එකම ක්‍රීඩකයායි.

2018 වසර දක්වා බංග්ලාදේශය සහභාගී වූ විස්සයි විස්ස තරග 84න් 75ක් නියෝජනය කරමින් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ Tamim අවසන් වසර 3 තුළ තරග 38කින් සහභාගී වී ඇත්තේ තරග තුනක් පමණක් වීම විශේෂත්වයක්.

නමුත් Tamim Iqbal එරට දේශීය තරග පිටියේ විස්සයි විස්ස තරග සඳහා සහභාගී වන බව ප්‍රකාශ කර ඇති අතර ඔහු මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Minister Group Dhaka වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

තමන් වෙනුවෙන් ක්‍රීඩා කරන නවක ක්‍රීඩකයින්ට දිගු කාලයක් ලබා දිය යුතු බවත්, ඔහු බංග්ලාදේශ පැරණි ක්‍රීඩකයින්ගෙන් මෙම ආදර්ශය ලබා ගත් බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා.

“පසුගිය විස්සයි විස්ස තරගාවලියේ දී අපි නව ක්‍රීඩකයින් කිහිපයකට අවස්ථාව ලබා දුන්නා. අපි ඉක්මනින් ඔවුන් ගැන බලාපොරොත්තු නැති කර ගන්න හොඳ නැහැ, අපි ඔවුන්ට කාලයක් ලබා දෙන්න ඕන. මාස හයක් කියන්නේ ඉතාමත් හොඳ කාලයක්. විස්සයි විස්ස කණ්ඩායමට මාව අවශ්‍ය නැහැ කියලා මට විශ්වාසයි. ඒත් ඔවුන්ට අවශ්‍ය වූවොත් මම සූදානම්.

මම කණ්ඩායමට අවස්ථාව ලබා දිය යුතුයි. හැමෝම මගේ ස්ථාවරය (නවකයින්ට අවස්ථාව ලබා දීම) දන්නවා. ඒ නිසා තරගාවලියකින් හෝ දෙකකින් ඒක විනිශ්චය කරන්න හොඳ නැහැ. ජ්‍යේෂ්ඨයන් වන අපිත් තරගාවලි කිහිපයක් අසාර්ථක වුන අවස්ථා තිබ්බා, ඒත් අපි හොඳින් නැවත පැමිණියා.

මගේ ස්ථානයේ ක්‍රීඩා කරන අය ගැන සලකා බලද්දී ඔවුන් ඔවුන්ගේ ස්ථාන තේරුම් අරගෙන හොඳින් ක්‍රීඩා කරයි කියලා මට විශ්වාසයි”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<