වනිඳු සහ භානුක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට

ආසියානු කුසලානය 2022

4390

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වමත් පිතිකරු භානුක රාජපක්ෂ පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නොකඩවා දැක්වූ දස්කම් හේතුවෙන් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Men’s Player Rankings) හී තවත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

පසුගිය ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වූ වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන තුනක් ඉදිරියට එමින් හයවැනි ස්ථානයට ද, තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතක දිගු ඉදිරියක් ලබමින් සිව්වැනි ස්ථානයට ද පත්වී තිබෙනවා.

හසරංග විසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ලබා ගත් කඩුලු 3ත් ඇතුළුව සමස්ත තරගාවලියේ දී ලබා ගත් කඩුලු 9, 6 වැනි වරටත් ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීමට ප්‍රබල දායකත්වයක් සැපයූ බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි.

25 වියැති මේ යෞවනයා විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා ලෙසට දැනට ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියාවේ Josh Hazlewoodට වඩා ලකුණු 100 පිටුපසින් සිටින අතර, තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල පළමුවැන්නා සහ හසරංග අතර පරතරය ඊටත් වඩා අවම අගයක් ගනී. එම නිසා එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී හසරංගගේ දක්ෂතා මත එම අගයන්ගේ වෙනසක් පහසුවෙන්ම ඇති කර ගැනීමේ අවස්ථාවක් ඔහුට උදා වී ඇත.

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමුවැනි ස්ථානයේ බංගලාදේශ ක්‍රිකට් නායක Shakib Al Hasan පසුවන අතර එහි දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායක Mohammad Nabiට හිමිව තිබෙනවා.

කාලයක් තිස්සේ වරින් වර ශ්‍රේණිගත කිරීම් මුල් ස්ථානවල තැන් හුවමාරු කර ගනිමින් සිටි Shakib Al Hasan (248), Mohammad Nabi (246) දෙදෙනාගේම ස්ථානවලට රතු එලි දල්වමින් ඉතාම කෙටි කාලයක් තුල වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම් හී ලකුණු 184ක් ලබා ගනිමින් ඉදිරියට පැමිණීම පැසසීමට ලක් කළ යුතුය.

මේ අතර වසර තුනක ශතක ඉඩෝරයට තිත තබමින් තම ප්‍රථම ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ශතකය ද සමඟින් ආසියානු කුසලාන තරගාවලිය තුල සමස්ත ලකුණු 276ක් රැස් කළ ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli, විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණීගත කිරීම්වල ස්ථාන 14ක් ඉදිරියට එමින් 15 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත් වී තිබෙනවා.

තම ක්‍රීඩා දිවියේ යම් පසු බෑමකට ලක්වී සිටි Virat Kohli කෙසේ හෝ නැවත තම පරණ පුරුදු මාර්ගයටම අවතීර්ණ වී ඇති බව පසුගිය ආසියානු කුසලානයේ දී පැහැදිලිව දැකගත හැකි වුනා.

එමෙන්ම ඉන්දීය සුපිරි දකුණත් පිතිකරු Lokesh Rahul, පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතක් ඉදිරියට එමින් 23 වැනි ස්ථානය ද, ශ්‍රී ලාංකික සුපිරි වමත් පිතිකරු භානුක රාජපක්ෂ ස්ථාන 34ක් ඉදිරියට පැමිණෙමින් 34 වැනි ස්ථානය ද හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ හිමිකාරිත්වය නොවෙනස්ව පාකිස්තාන පිතිකරු Mohammad Rizwanගේ නමට ලියැවී තිබෙන අතරේ, ඔහුගේ ඉනිම ආරම්භක සගයා වන Babar Azamව ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට ඇද දමින් දකුණු අප්‍රිකානු පිතිකරු Aiden Markram දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම නිමා වූ ආසියානු කුසලානයේ දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් විස්සයි විස්ස පන්දු  යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හතරක් ඉදිරියට එමින් හත්වැනි ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය වේගපන්දු යවන Bhuvneshwar Kumar සමත් වී ඇති අතර, පාකිස්තාන පන්දු යවන්නන් දෙදෙනෙක් වන Haris Rauf ස්ථාන 9ක් ඉදිරියට එමින් 25 වැනි ස්ථානය ද, Mohammad Nawaz ස්ථාන 7ක් ඉදිරියට එමින් 34 වැනි ස්ථානය ද හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 10යේ කිසිදු වෙනස් වීමක් සිදු වී නොමැති නමුත්, එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් තම නම් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය ආසන්නයට ගෙන ඒමට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වී තිබෙනවා.

එංගලන්ත වේගපන්දු යවන්නකු වන Ollie Robinson දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ලබා ගත් කඩුලු 5 හේතුවෙන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 11ක් ඉදිරියට එමින් 15 වැනි ස්ථානයට පැමිණීමට සමත් වී ඇති අතර, ඔහුගේ කණ්ඩායම් සගයකු වන දකුණත් පිතිකරු Ollie Pope ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 17 ඉදිරියට එමින් 29 වැනි ස්ථානයට පැමිණීමට ද සමත් වී තිබෙනවා.

එම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තයට එරෙහිව 2-1ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජයට පත් වූවත්, එම තරගාවලියේ අවසන් තරගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩක Marco Jansen විසින් දැක්වූ දක්ෂතා පිළිබඳ ඔහුට පෞද්ගලිකව සෑහීමකට පත්විය හැකි වනු ඇත.

අවසන් සහ තුන් වන ටෙස්ට් තරගයේ දී කඩුලු පහක් ලබා ගැනීමට සමත් වූ Marco Jansen පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8ක් ඉදිරියට එමින් 26 වැනි ස්ථානය ද, තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 6ක් ඉදිරියට එමින් 12 වැනි ස්ථානය ද හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

මේ අතර පසුගිය දා නිමාව දුටු ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති Chappell-Hadlee එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර, එම තරගාවලිය එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල විචලනයට ඉතාම අවම බලපෑමක් ඇති කර ඇති බව පෙනී යයි. ඕස්ට්‍රේලියාව නියෝජනය කරන සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Steve Smith සහ Mitchell Starc පමණක් ශ්‍රේණිගත කිරීම් හී කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත් වී ඇත.

එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 167ක් රැස් කළ Steve Smith පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 13ක් ඉදිරියට එමින් 10 වැනි ස්ථානයට පැමිණීමට සමත් වී ඇති අතර, එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන තුනක් ඉදිරියට එමින් 9 වැනි ස්ථානය ලබා ගැනීමට Mitchell Starc සමත් වී තිබෙනවා.

එමෙන්ම එම තරගාවලියේ දී කඩුලු 10ක් බිඳ හෙළු නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Trent Boult එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී ප්‍රථම ස්ථානය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබෙනවා.

ඉදිරියටත් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල නවතම තොරතුරු විස්තරාත්මකව ඔබට ලබා දීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<