Robinson කට වරද්ද ගත්තා ද?

The Ashes 2023

1812

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ නිමාවත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්වීමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Ollie Robinson සමත් වී තිබෙනවා.

නිමා වූ ප්‍රථම අළුබඳුන ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වූ Usman Khawajaගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ Ollie Robinson විසින් තරමක් ආවේගශීලී ලෙස Khawajaව ආමන්ත්‍රණය කිරීම නිසා සහ තරගයේ තෙවැනි දිනය අවසානයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අලලා සිදු කළ ප්‍රකාශයකින් පසු Robinson විසින් සිය හතුරු භූමිකාවට පණ දීම ආරම්භ කළා.

“අපි කණ්ඩායම විදිහට සාකච්ඡා කරපු දෙයක් තියෙනවා. අපි Pat Cumminsව පසු කළ පසු (දවා ගත් පසු) අංක 11 පිතිකරුවන් තිදෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා වගෙයි අපිට හැඟෙන්නේ.”

Robinson විසින් ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙම ප්‍රකාශය එම තරගය නිමා වීමෙන් ඔහුට ම පාරා වලල්ලක් ලෙස ක්‍රියා කිරීමට පටන් ගත්තා.

විශේෂයෙන්ම ඔහු විසින් අංක 11 පිතිකරුවෙකු (ඉතා දුර්වල මට්ටමේ පිතිකරුවකු) ලෙස සඳහන් කළ Nathan Lyon සමඟ එක් වූ Pat Cummins විසින් ඕස්ට්‍රේලියාව එම තරගයේ ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් වීමත් සමඟ Robinsonගේ නම සමාජ මාධ්‍ වල මාතෘකාවක් වීම ආරම්භ වුනා.

නමුත් එතැනින් ද නොනැවතුණු Robinson විසින් තරගය නිමා වීමෙන් පසුව ඔහු විසින් Khawajaට එරෙහිව සිදු කළ ආක්‍රමණශීලී හැසිරීම පිළිබඳ මෙසේ අදහස් පළ කළා.

“අපි හැමෝම දැකලා තියෙනවා Ricky Ponting සහ අනෙක් ඕස්ට්‍රේලියානුවන් අපිට මේ දේ කරනවා.”

පෙර පැවති තත්වයට වඩා දැන් තත්වය වෙනස් වී ඇති බවයි Robinson විසින් ඒ පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ.

නමුත් මෙම සිදුවීමට කිසිසේත් ම අදාළ නැති තමන්ගේ නම මේ හා ඈඳා ගැනීම සම්බන්ධයෙන් හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting නම් එතරම් සතුටක් පෙන්වා තිබුණේ නැහැ.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් කිරීමට සමත් වී ඇති එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තවමත් ඕස්ට්‍රේලියාව සමඟ හරිහැටි ක්‍රීඩා කර නොමැති බවයි Ponting විසින් ඊට පිළිතුරු සඳහන් කර තිබුණේ.

“ගෙවුණු සතියෙන් පසුව Ollie Robinson අපි ගැන ඉගෙන ගෙන නැත්නම් එයා හරි හෙමින් ඉගෙන කෙනෙක් විය යුතුයි. කියපු සමහර දේවල් වලින්, මම කියන්නේ ඔහු මගේ නම පවා එයට ඇදලා ගත්තා. ඒක ටිකක් අසාමාන්‍යයි කියලා මට හිතෙනවා.

ඔහු මම ගැන ම හිත හිතා ඉන්නවා නම් ඒ තරගයේ දී ඔහු පන්දු යවපු ආකාරය ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. ඔහු මම වසර 15කට පෙර සිදු කළ දෙයක් ගැන කනස්සලු වෙනවා නම්.

අළුබඳුන තරගාවලියක් තුළ ඔබ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට කතා කරනවා නම් තමන් සිය දක්ෂතා අතරට ඉක්මනින් පැමිණිය යුතු බව ඔහු ඉගෙන ගනීවී.”

Ponting විසින් Robinsonට එසේ පිළිතුරු සපයන අතරේ ම තවත් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම Robinsonව ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුත් කර තිබුණා.

ඒ අතරින් හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන Mathew Hayden විසින් Robinsonව හඳුන්වා දී තිබුණේ පැයට කිලෝමීටර් 124ක වේගයෙන් පන්දු යවන ඉක්මනින් අමතක වන අන්දමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි.

මෙවැනි වාග් සංග්‍රාම මධ්‍යයේ ඕස්ට්‍රේලියානු ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Fox Cricket විසින් ඔහුව “අංක එකේ දුෂ්ටයා” ලෙස හඳුන්වා දී තිබීම ද විශේෂත්වයක්.

එවන් වාතාවරණයක සිට ලෝ ප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන Wisden හි පල වූ ලිපියක් වෙනුවෙන් සිය අදහස් ලබා දුන් Robinson විසින් පළමු ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විලාශය ද මෙසේ විවේචන කර තිබුණා.

“ඕස්ට්‍රේලියාව ආරක්ෂාකාරී වූ ආකාරය සහ අප සමඟ තරගකාරී ලෙස ක්‍රීඩා කිරීමට නොපැමිණීම ගැන අපි පුදුම වුනා.”

එම ක්‍රීඩා විලාශය පළමු තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සාර්ථක ප්‍රතිඵල ගෙන ආවත් ඉදිරියේ දී එසේ නොවනු ඇති බවයි Ollie විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම සිය ප්‍රධාන පුහුණුකරු Brendon McCullum පවා තරගය පරාජය වුව ද තම කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානුවන් ව පසු පාදයට ඇද දමමින් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ සිය සතුට පළ කළ බවයි Ollie විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මේ අතර Usman Khawaja හා ඇති වූ සිදුවීම තරගයේ ස්වභාවය අනූව සිදු වූ දෙයක් පමණක් බවයි ඔහු පවසන්නේ.

“හැම පන්දු යවන්නෙක් ම ඒ දේ කරනවා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු ලබා ගැනීමට උත්සාහ කරන වෙලාවට. මම පසුව Ussieට කතා කළා. හැම දේ ම හොඳින්!”

කෙසේ වෙතත් Ollie විසින් ආරම්භ කළ මෙම වාග් සංග්‍රාමය ඉදිරි අළුබඳුන තරග කිහිපය තුළ තවත් උණුසුම් වේ යැයි අනුමාන කළ හැකි.

එමෙන්ම ඒ පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<