කොදෙව්වෝ ලකුණු 231කට දැවී යයි

West Indies Academy tour of Sri Lanka 2026

19
West Indies Academy tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (15) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රි ලංකා නැගී එන ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා. ඒ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 231ට පිළිතුරු ලෙසයි.

මෙම තරගයේ දී පෙර තරගය හා එක් ව සිටි තරින්ද නිර්මාල් වෙනුවට මිහිරංග සිල්වා එක් කර තිබුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් 5ක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Mbeki Joseph, Kevlon Anderson, Amari Goodridge, Jediah Blades, සහ Kelvin Pitman වෙනුවට Johann Jeremiah, Giovonte Depeiza, Nathan Edward, Zishan Motara සහ Raneico Smith එක් කර තිබුණා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

 

දිනුර කළුපහන (නායක), පුලිඳු පෙරේරා, රවිඳු රසාන්ත, අසිත වන්නිනායක, සහන් කෝසල, ශාරුජන් ශන්මුගනාදන්, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), මිහිරංග සිල්වා, ශක්ති උදාර, නිසල අබේරත්න සහ චමෝද් බට්ටගේ.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

 

Rivaldo Clarke (නායක සහ කඩුලු රකින්නා), Johann Jeremiah, Damel Evelyn, Mavendra Dindyal, Shaqkere Parris, Giovonte Depeiza, Nathan Edward, Johann Layne, Zishan Motara, Raneico Smith සහ Ryan Bandoo

 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද ඔවුන්ට සාරථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 37ක් වෙද්දී දැවී යනවා.

ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ලට එක් වූ Shaqkere Parris සහ නායක Rivaldo Clarke එක් ව ලකුණු 120ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Rivaldo Clarke පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57කට දැවී යෑමත් සමඟිනුයි.

අනතුරු ව Shaqkere Parris ට එක් වූ Nathan Edward 6 වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ද එක් කරනවා.  Nathan Edward පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.

ඊළඟ කඩුල්ලේ දී Shaqkere Parris දැවී යන අතර ඔහු දැවී යන විට පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 99කට දැවී යනවා.

කඩුලු දවා ගැනීමේ දී චමෝද් බට්ටගේ ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව නිසල තාරක සහ ශක්ති උදාර කඩුලු ද්විත්වයක් බැගින් ද සහ අසිත වන්නිනායක සහ දිනුර කළුපහන කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම පුලිඳු පෙරේරා සහ රවිඳු රසාන්ත සමඟින් ආරම්භ කළ අතර තරගය පළමු දිනයට නතර කරන විට පුලිඳු පෙරේරා ලකුණු 13ක් ද සහ රවිඳු රසාන්ත ලකුණු 5ක් ද ලබා ගෙන නොදැවී පිටියේ රැඳී සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමික්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (67.5) Shaqkere Parris99, Rivaldo Clarke 57,  Nathan Edward 28, නිසල අබේරත්න 2/38, චමෝද් බට්ටගේ 4/51, ශක්ති උදාර 2/61
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 37(7.0)

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ලකුණු 194ක් පිටුපසින්.

තරගය හෙට (16) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<