15න් පහළ පාසල් ක්‍රිකට් පිටියෙන් විශ්මිත ලකුණු සටහනක්

4309

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මේ දිනවල දී සාර්ථකව පැවැත්වෙනවා.

එහි දී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රාගම බැසිලිකා විද්‍යාලය අතර ඊයේ (25) රාගම දී පැවති තරගයක දී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පන්දුවාර 50ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 708ක් ලබා ගෙන තිබෙන අතර එහි දී නායක ඉනේෂ් දුලංජන වාර්තා කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාන 344ක්.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් ඉනේෂ් මේ ලකුණු 344ක් ලබා ගත්තේ පන්දු 120ක් තුලයි. ඔහුගේ මේ දැවැන්ත ඉනිමට  4 පහර 44ක් සහ 6 පහර 19ක් ඇතුළත්.

එසේම මේ තරගයේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාල ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 452ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට ඉනේෂ් සහ නෙවින් සෙන්කිත් සමත් වුනා.

ඉනේෂ් ලබා ගත් ත්‍රිත්ව ශතකයට අමතරව නෙවින් සෙන්කිත් සහ විමුක්ති ඉෂාර වේගවත් ශතක ලබාගෙන දැවැන්ත ලකුණු පුවරුවක් වෙත යාම සඳහා අවශ්‍ය සහාය සිය කණ්ඩායමට ලබා දුන්නා.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලබා ගත් දැවැන්ත ලකුණු 708 ඉලක්කය හඹා ගිය රාගම බැසිලිකා විද්‍යාලය පන්දුවාර 17ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 43ක් පමණයි.

එහි දී දෙනෙත් නිම්සර ලකුණු 7කට කඩුලු 6ක් ලබාගෙන දස්කම් දැක්වීමට සමත් වුනු අතර සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මේ තරගයෙන් ලකුණු 665ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වුනා.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 708/5 (50): ඉනේෂ් දුලංජන 344, නෙවින් සෙන්කිත් 111, විමුක්ති ඉෂාර 109, ඩොමිනික් ප්‍රනාන්දු 57*, හංස මිහිරංග 39.

රාගම බැසිලිකා විද්‍යාලය – 43 (17): දෙනෙත් නිම්සර 6/07.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<