අංජල බණ්ඩාරගෙන් 2 වැනි ඉනිමටත් ශතකයක්

West Indies Academy tour of Sri Lanka 2026

15

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් නිල නොලත් සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) විසඳුමකින් තොරව අවසන් වූවා.  

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ඉනිම 2 දී ම ශතක රැස් කිරීමට 22 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු අංජල බණ්ඩාර සමත් වීම කැපී පෙණුණා.  

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 356ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 381ක් ලබා ගත්තා. ලකුණු 25ක් පිටුපස සිටිමින තම 2 වැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 401ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද තරගය ආරම්භ කරන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 173ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී අංජල බණ්ඩාර නොදැවී ලකුණු 57ක් ද සහ පුලිඳු පෙරේරා නොදැවී ලකුණු 50ක් ද ලබා සිටියා.  

අද ඔවුන් දෙදෙනා අතුරින් පළමුවෙන් ම කඩුල්ල හැර යන්නේ පුලිඳු පෙරේරා. ඒ වෙද්දී පුලිඳු පෙරේරා පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 87ක් ලබා සිටියා.  

ඔවුන් දෙදෙනා විසින් 6 වැනි කඩුල්ලට එක්කළ සබඳතාව පන්දු 220ක දී ලකුණු 162ක්.  

ඔහුගේ දැවී යෑමෙන් අනුතුරු ව අංජල බණ්ඩාර සහ තරින්ද නිර්මාල් 7 වැනි කඩුල්ලට පන්දු 190ක දී ලකුණු 92ක සබඳතාවක් ගොඩ නගනවා. තරින්ද නිර්මාල් පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

ඉන් අනතුරු ව ශක්ති උදාර ලකුණු 12කට දැවී යන අතර තරගය අවසන් වන විට අංජල බණ්ඩාර පන්දු 326කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 189ක් ද සහ නිසල අබේරත්න නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Johann Layne ලකුණු 61කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Jediah Blades කඩුලු 2ක් ද, Mavendra Dindyal සහ Ryan Bandoo කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිමසියලුම දෙනා දැවී 356 (90.2) අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර 163, නිසල අබේරත්න 48, Jediah Blades 2/83, Johann Layne 3/68, Ryan Bandoo 3/45 
  • බටහිර ඉන්දීයකොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 381 (103.4) Damel Evelyn 35, Mavendra Dindyal 60, Shaqkere Parris 55, Rivaldo Clarke 127, Johann Layne 35, නිසල අබේරත්න 2/76, චමෝද් බට්ටගේ 2/65, ශක්ති උදාර 6/102 
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම- දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 401 (116.0) දිනුර කළුපහන 25, අංජල බණ්ඩාර නොදැවී 189, පුලිඳු පෙරේරා 87, තරින්ද නිර්මාල් 40, Jediah Blades 2/43, Johann Layne 3/61 

තරගයේ විසඳුමක් නෑ. 

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් සිව් දින තරගය මේ මස 15 වැනිදා සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි.  

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<