Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි

ICC Women's T20 World Cup 2026

16

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3 වැනි දිනයේ දී (14) පාකිස්තානය පරාජය කරමින් ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යැවූ Deepti Sharma ඉන්දීය විස්සයි විස්ස තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

පැවැති අනෙක් තරගයෙන් නෙදර්ලන්තයට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වෙනවා.  

  • 5වැනි තරගය, 1 වැනි කාණ්ඩය, නෙදර්ලන්තය සහ බංග්ලාදේශය, Birmingham හී Edgbaston ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – නෙදර්ලන්තය 

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත් අතර ඊට පිළිතරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 5ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.  

එහි දී ආරම්භක පිතිකාරිනී Juairiya Ferdous තම මංගල ලෝක කුසලාන තරගයට සහභාගී වෙමින් පන්දු 33කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

Dilara Akter සමඟ එක් වූ ඇය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Dilara Akter පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. 

බංග්ලාදේශ ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Sharmin Akhter පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ Shorna Akter පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සබඳතාව 56ක්. 

කඩුලු දවා ගැනීමේ දී Caroline de Lange ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර Silver Siegers ද කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Babette de Leede. තම මංගල ලෝක කුසලාන තරගයට මුහුණ දුන් ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Marufa Akter ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • නෙදර්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 139 (20.0) Babette de Leede 50, Marufa Akter 2/31 
  • බංග්ලාදේශකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 141 (19.1) Juairiya Ferdous 50, Dilara Akter 26, Sharmin Akhter 37, Shorna Akter නොදැවී 18, Caroline de Lange 2/27 

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 

තරගයේ වීරයා – Juairiya Ferdous (බංග්ලාදේශය 

6වැනි තරගය, 1 වැනි කාණ්ඩය, ඉන්දියාව සහ පාකිස්තානය, Birmingham හී Edgbaston ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – ඉන්දියාව 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 18ක් වෙද්දී දැවී යනවා. ආරම්භය එසේ වූවත් 3 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 91ක සබඳතාවක් එක් කිරීමට Smriti Mandhana සහ නායිකා Harmanpreet Kaur සමත් වෙනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Smriti Mandhana ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියා. එය ඇය ගේ ලෝක කුසලාන තරග දිවියේ 5 වැනි අර්ධ ශතකයයි. 

Harmanpreet Kaur ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා. ඊට අමතර ව Richa Ghosh පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Fatima Sana සහ Sadia Iqbal කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 106ක් පමණයි 

එම ඉනිමේ අවසන් කඩුලු 3 එක ම පන්දු වාරයක් තුළ පන්දුවක් ඇර පන්දුවක දී දවා ගත් Deepti Sharma ලකුණු 10කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඉන්දීය විස්සයි විස්ස තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම බවට පත් වූ අතර ලෝක කුසලාන තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම් අතර තෙවැනි ස්ථානයට පත් පන්දු යැවීම බවට ද පත් වුණා.  

ඇයට අමතර ව Shree Charani ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා. 

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ Muneeba Ali. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා. ඊට අමතර ව Aliya Riaz පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දීයකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 170 (20.0) Smriti Mandhana 68, Harmanpreet Kaur 36, Richa Ghosh 34, Sadia Iqbal 2/41, Fatima Sana 2/33 
  • පාකිස්තානකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 106 (17.0) Muneeba Ali 41, Deepti Sharma 5/10, Shree Charani 3/21 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 64ක ජයක්. 

තරගයේ වීරයා – Deepti Sharma (ඉන්දියාව) 

අද (15) තරගාවලියේ විවේක දිනයක් වන අතර හෙට (16) ශ්‍රී ලංකාව සහ නවසීලන්ත  අතර තරගය සේ ම තවත් තරගයක් ද පැවැත්වීමට නියමිතයි.  

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<