“අපි තාමත් උපරිමයෙන් දක්ෂතා දක්වලා නැහැ” – බංග්ලාදේශ නායක

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

205

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (25) නිමා වුනේ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 103ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඒ සමඟින් බංග්ලාදේශය තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් බංග්ලාදේශ නායක Tamim Iqbal පවසා සිටියේ තම කණ්ඩායම තවමත් ඔවුන්ගේ උපරිම දක්ෂතා අතරට පැමිණ නොමැති බවයි.

හොඳම එක්දින කණ්ඩායම බවට පත්වීමට නම් තම කණ්ඩායම අවධානය යොමු කළ යුතු අංශ රැසක් ඇති බව ඔහු පවසා සිටියා.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගය කීපවරක්ම නවතා දැමීමට විනිසුරුවන් තීරණය කළා. කෙසේ වෙතත් තරගයේ නියමිත පන්දුවාර ප්‍රමාණය ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේ පන්දුවාර 40ක් පමණයි. ඒ අනුව ජයග්‍රහණය තීරණය වූයේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නැවත වරක් සාර්ථක වූ Mushfiqur Rahim ඊයේ තරගයේ දී ශතකයක් වාර්තා කළේ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්. පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman සහ Mehidy Hasan කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

“තරග දෙකම ජයග්‍රහණය කිරීමට ලැබීම ගැන සතුටුයි. ඒත් මම හිතන්නේ අපි මේ තරග ජයග්‍රහණය කළේ වාසනාවට කියලා. අපේ කඩුලු රැසක්ම මැද පන්දුවාර තුල අහිමි වුනා. අපි හිතුවේ ලකුණු 200 ලබා ගන්න එක අසීරු වේවි කියලා. ඒත් Mahmudullah සහ Mushfiqur ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. අපි තරගයක් දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුනා. මම හිතන්නේ අපේ පන්දු යැවීම ඉහළ මට්ටමක තිබුණා. Taskin Ahmed කෙටි දැනුම්දීමකින් තරගයට ඇතුළත් වුනේ. ඒ වගේම Mehidy Hasan ඉතාමත් කල්පනාකාරීව පන්දු යැවුවා” තරගයෙන් අනතුරුව Tamim Iqbal පවසා සිටියා.

“අපේ පන්දු යැවීම සහ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. ඒත් මම හිතන්නේ අපි තවමත් අපේ හොඳම දක්ෂතාවයට ළඟා වෙලා නැහැ. අපේ පන්දු රැකීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අපි ලබාගත්ත නැති උඩපන්දු ලබාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒවට පුළුවන් තරගයක් වෙනස් කරන්න. ඒ හැමදේම හොඳින්ම කළොත් මට නායකයෙක් විදිහට සතුටු වෙන්න පුළුවන්” Tamim Iqbal පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා නව නායකයෙකු සහ උපනායකයෙකු යටතේ ක්‍රීඩා කරන අතර කුසල් පෙරේරා නායකත්වය දැරූ පළමු තරග දෙකම පරාජය වීමට සිදුවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

“තරග ප්‍රතිඵල දෙකම ඉතාමත් කණගාටුදායක වුනා. තරග දෙකේ දී ම මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වුනා. මම හිතන්නේ අත්දැකීම් අඩු වීම තමයි ප්‍රධාන හේතුව වුනේ. අපි මේ ගැන දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. ක්‍රීඩකයන් ඔවුන්ගේ දක්ෂතා නිවැරදිව හඳුනා ගෙන බය නැතුව සෙල්ලම් කරන්න ඕනේ” තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් කුසල් පෙරේරා පවසා සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 74ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුවත් පිටියේ එක්වූ Mushfiqur Rahim සහ Mahmudullah බංග්ලාදේශ ඉනිමට බලාපොරොත්තුවක් එක් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mushfiqur Rahim ලකුණු 125ක් රැස් කළ අතර Mahmudullah ලකුණු 40ක් රැස් කළා. සෙසු බංග්ලාදේශ පිතිකරුවන් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වුනේ නැහැ. 

පන්දු යැවීමේ දී දුශ්මන්ත චමීර සහ ලක්ශාන් සඳකැන් කඩුලු 3 බැගින් දවා ගත් අතර ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

බංග්ලාදේශ ඉනිම පන්දුවාර 48ක් තුල සියලු දෙනා දැවී ලකුණු 246ක් ලෙස සටහන් වුනා.

ලකුණු 247ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු ලකුණු 25 සීමාව පසුකර යාමට සමත්නොවූ අතර ඔවුන් ලබාගත්තේ පන්දුවාර 40ක් තුල කඩුලු 9ක් දැවී ලකුණු 141ක් පමණයි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ජයග්‍රහණය තීරණය කෙරුණේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 103ක ජයග්‍රහණයක් වාර්තා කළා.

ඒ සමඟින් බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එය ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් වාර්තා කළ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක්වුනා.

තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 28 වැනිදා Shere Bangla ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<