‘ඇයි අනියත බියක්? තරගාවලියේ කිසිදු වෙනසක් නැහැ” – BCB සීරුවෙන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

163

ජෛව-ආරක්ෂිත බුබුළු තුල යලි කෝවිඩ් අවදානමක් පැන නොනැඟෙන අයුරින් ක්‍රීඩකයින්ගේ මෙන්ම කණ්ඩායම් කාර්‍ය මණ්ඩලයන්ගේ ද ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය විධිවිධාන දැනටමත් ගෙන ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ප්‍රධානී Nazmul Hasan මහතා ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අවධාරණය කර තිබුණි.

ඊයේ (24) දිනයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියේ පළමු තරගයට පෙරාතුව කණ්ඩායම් දෙකෙහිම ජෛව-ආරක්ෂිත බුබුළුවල රැඳී සිටි පුද්ගලයින් පස්දෙනෙකු හට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව සනාථ කරමින් වෛද්‍ය වාර්තා නිකුත් වී තිබූ අතර ඒ අනුව තරගාවලිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් දැවැන්ත ගැටලුවක් පැන නැඟිණි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට අමතරව වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ද මෙම ආසාදිතයන් අතර වීම මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් වීමට හේතුපාදක වී තිබුණි. 

ඔවුන් තිදෙනාට අමතරව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රවර්ධන අංශයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු හට ද රෝගය වැළඳී ඇති බව මින් පෙර සිදු කළ PCR පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලවලින් තහවුරු විය. 

නමුත් අවසන් වරට සිදු කළ PCR පරීක්ෂණයන්හී රසායනාගාර වාර්තා ලැබීමත් සමඟ ශිරාන් ප්‍රනාන්දු හැරුණුකොට අනෙක් සිව්දෙනා හට රෝගය වැළඳී නොමැති බව සනාථ විය.

ඒ අනුව බාධාවකින් තොරව පෙර සැලසුම් කර තිබූ පරිදි තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් දෙරටේම ක්‍රිකට් ආයතන විසින් සම්පාදනය කර අවසන්ව ඇති අතර යම් ආකාරයකින් අවදානම් සහගත තත්වයක් පැන නැඟුණහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ඊයේ දිනයේ දී සාකච්ඡා කළ බව BCBය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

“මෙවැනි සිදුවීමක් විය නොහැකි කියන තැන අපි නැහැ. නමුත් හැමදෙනාගේම සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන්න ගත යුතු සෑම පියවරක්ම අපි අරගෙනයි තියෙන්නේ. ඉදිරියේ දී අපි මේ ගැන වැඩි අවධානයක් යොමු කරන බලාපොරොත්තු වෙනවා. අපි අවශ්‍ය විධිවිධාන හරි වේලාවට අරගෙන තියෙන නිසා අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. නමුත් අනිවාර්‍යෙන්ම අපි මේ සිදුවීම සුළුවෙන් තකන්නේ නැහැ. ඔහුට (ශිරාන් ප්‍රනාන්දු) මෑතක දී වයිරසය ආසාදනය වෙලා සුවය ලබලා තියෙන නිසා දින 28ක් පමණ යනකන් ඔහුගේ සාම්පලවල තවමත් මළ RNA කොටස් තියෙන්න පුළුවන්. ඒ නිසා ලොකු අවදානමක් තාමත් පැන නැඟිලා නැහැ.”

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ දක්වා ගෙන ඇති පියවර සහ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන කළමනාකරු Manuja Kariyapperuma මහතා ද පවසා තිබුණේ ඔවුන් සඳහන් කළ පරිදි විවිධ හේතුකාරණා මත වෛද්‍ය වාර්තා වෙනස් වීමේ ඉඩකඩක් පවතින බව පෙන්වා දෙමිනි.

“අපිට අවශ්‍ය කරන පහසුකම් සියල්ලම වගේ බලාපොරොත්තු වුනාටත් වඩා හොඳින් ඔවුන් සංවිධානය කරලා තියෙනවා. අපි ඒ හැමදේකින්ම උපරිම ප්‍රයෝජනය අරන් හොඳ කරට කර සටනක් දෙන්න තමයි අපේක්ෂාවෙන් පසුවෙන්නේ.”

මෙවැනි කාලසීමාවක් තුල නිවැරදි සෞඛ්‍යාරක්ෂිත නීති රීතීන් අනුගමනය කරමින් අධික කාර්‍යබහුල කාලසටහනකට අනුව වැඩ කටයුතු සැලසුම් කිරීම පිළිබඳව ද BCB ප්‍රධානී Nazmul Hasssan මහතා අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.

“අනෙක් කණ්ඩායම් ගැන මම කියන්න දන්නේ නැහැ නමුත් මට නිසැකවම කියන්න පුළුවන් මේ නව සාමාන්‍ය තත්වය යටතේ ක්‍රීඩා කිරීම අපිට විශාල අභියෝගයක්. ඒකට ප්‍රධාන හේතුකාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි හැමදාමත් එක පවුලක් විදියට තරග කළේ. මේ වගේ දුරස්ථභාවයකින් කටයුතු කරන එක අපිට පුරුදු දෙයක් නෙමෙයි. අනෙක් කාරණය තමයි තරගාවලියකට සූදානම් වෙන්න ලැබෙන්නේ ඉතාමත් කෙටි කාලසීමවක්. අපි පහුගිය තරගාවලි කිහිපය අරගෙන බැලුවම ඒ ගැන තවත් උදාහරණ අවශ්‍ය නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<