පාකිස්තාන ප්‍රවීණයාට PSL අහිමි වෙයි

162

පිටකොන්දේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් පාකිස්තාන සුපිරි ලීග් තරගාවලියේ Multan Sultans නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩක Shahid Afridi හට මෙවර තරගාවලියේ දෙවැනි අදියරෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු ද වන Shahid Afridi පාකිස්තාන සුපර් ලීගයේ මෙවර තරගාවලියේ දෙවැනි අදියර ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ දී මෙම ආබාධයට ලක්ව ඇති අතර ඔහුට මෙවර තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත.

Afridi මෙවර තරගාවලියේ ප්‍රථම අදියරේ දී Multan Sultans නියෝජනය කරමින් තරග හතරකට සහභාගී වූ අතර ඔහුගේ ඉවත් වීම නිසාවෙන් තරගාවලියේ දෙවැනි අදියර සඳහා දඟ න්දු යවන ක්‍රීඩක Asif Afridi කැඳවීමට තීරණය කර ඇත.

“පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා සූදානම් වීමේ දී මගේ පිටකොන්දේ තරමක වේදනාවක් ඇති වුනා. ඒ නිසා මම වෛද්‍යවරයෙක් වෙත යොමුවීමෙන් පසුව මට විවේක ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ නිසා මට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ.

තරගාවලියට සහභාගී නොවී ඉවත් වීමට සිදුවීම පිළිබඳව මම ඉතාමත් කනගාටුවට පත්වෙනවා. නමුත් මම මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සුබ පතනවා මෙවර ශූරතාවය දිනා ගැනීමට හැකි වෙන්න කියලා” යැයි Shahid Afridi ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

මීට අමතරව Islamabad United කණ්ඩායම සඳහා Umar Amin සහ Brandon King යන ක්‍රීඩකයන් කැඳවීමට කටයුතු කර ඇති අතර Peshawar Zalmi සංචිතයට Hazratullah Zazai, Sameen Gul සහ Khalid Usman යන ක්‍රීඩකයන් එක්කර ගැනීමට කටයුතු කර ඇත.

පාකිස්තාන සුපිරි ලීගයේ මෙවර තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට කටයුතු කළ නමුත් කොරෝනා වසංගතය නිසා තරගාවලිය කල්දැමීමට සිදු වුනා. තරගාවලියේ දෙවැනි අදියර අබුඩාබි නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<