ගාලු බලකායෙන් කුසලාන උදුරා ගැනීමේ කොළඹ මෙහෙයුම

2290
U19

මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමඟ පැවැත්වෙන 2017 අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ ආනන්ද කණ්ඩායම පිවිසෙන්නේ මැයි 7 සහ 8 දෙදින තුල කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ වාසිය තමන් වෙත හරවා ගෙන කුසලානය බස්නාහිර පළාත තුලම රඳවා ගැනීමේ අරමුණ ඇතිවයි.

පාසල් තරග වාරයේ විශිෂ්ටයන් කවුරුන් ද ?

2016/17 තරග වාරයට අදාළ සිංගර් අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසානය ලඟා වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්…

සංවිධාන කටයුතු වල මතු වූ දුර්වලතා හේතුවෙන් 2016 වසරේ මෙම තරගාවලියට අදාළ අවසන් මහා තරගය පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයට නොහැකි වූ අතර මොරටුව සාන්ත සෙබස්තියන් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් එම වසරේ සම ශූරයන් ලෙස නම් කිරීමට සිදුවිය.

මෙවර තරගාවලියේ දී සාන්ත සෙබස්තියන් කණ්ඩායමට පළමු වටයෙනුත්, සාන්ත පීතර විදුහලට අවසන් පූර්ව තරගයෙනුත් තම ශූරතා බලාපොරොත්තු අත් හරින්නට සිදුවුනේ මෙම තරගාවලියේ උණුසුම සහ තරගකාරීත්වය පිළිබඳ පැහැදිලි උදාහරණයක් සපයමින්.

ආනන්ද විද්‍යාලය

කොළඹ ආනන්ද විද්‍යාලය මෙවර තරගාවලියට එක් වුනේ ‘බී’ කාණ්ඩය යටතේයි. පළමු වටය තුල දී අදාළ කාණ්ඩයේ පෙරමුණ ගන්නට ඔවුන් සමත් වූ අතර, අවසන් තරගය සඳහා පැමිණි ගමනේ දී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම තරණය කළ අනෙකුත් කඩුලු වුණේ, අවසන් පූර්ව තරගයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමත්, අවසන් පූර්ව තරගයේ දී හිටපු සම ශූරයන් වූ සාන්ත පීතර විද්‍යාලයත් පරාජය කිරීමයි.

ආනන්දීයයන් වෙනුවෙන් වඩාත්ම කැපී පෙනෙන තරුව බවට පත්ව සිටින්නේ කණ්ඩායම් නායක සහ සහ ආරම්භක පන්දු යවන්නා වන කවිෂ්ක අංජුලයි. පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද එකසේ දස්කම් දක්වන අංජුල කඩුලු 40කට ආසන්න සංඛ්‍යාවකට හිමිකම් කියන අතරම තම කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1000කට අධිකයි. තම දස්කම් සමඟින් කණ්ඩායමේ සහයෝගය සංකලනය කර තරගකාරී දින දෙකක් අවසානයේ කුසලානය තම දෝතට ගැනීමේ නොතිත් අරමුණක් අංජුල සතු වනු නොඅනුමානය.

මෙම තීරණාත්මක තරගයේ දී ආනන්ද කණ්ඩායමට වඩාත්ම දැනෙන හිඩැස බවට පත් වනු ඇත්තේ ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුව‍ෙකු වන සහන සුරවීරගේ අඩුවයි. ඔහු මේ වන විට එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය සඳහා එක්සත් රාජධානිය බලා ගොස් සිටියි.

ආනන්ද විද්‍යාලය සතු තවත් ප්‍රධාන අවියක් වන  අසෙල් සිගේරා තම වමත් දඟ පන්දුවෙන් කඩුලු 40කුත් පිත්තෙන් ලකුණු 400කට වැඩි ප්‍රමාණයකුත් වාර්තා කරන්නට සමත්ව ඇත. එමෙන්ම ජාත්‍යන්තර අත්දැකීම්වලින් ද පිරිපුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සම්මු අශාන් ද ආනන්ද කණ්ඩායමට ශක්තිය එක් කරන ප්‍රධාන තුරුම්පුවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි පළාත් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව පවා හිමි කර ගත් දිලීප ජයලත් ආනන්ද පන්දු යැවීමේ අංශය සතු ප්‍රධානතම අවිය වන අතර ඔහු මෙවර තරග වාරයේ දී කඩුලු 50 සීමාව ඉක්මවා යන්නට සමත්ව සිටියි.

අපේක්ෂිත කණ්ඩායම

කවිෂ්ක අංජුල  (නායක), කමේෂ් නිර්මාල්, අසෙල් සිගේරා, සම්මු අශාන්, දිලීප ජයලත්, කලන පෙරේරා, සුපුන් වරාගොඩ, කනිෂ්ක රන්තිලකගේ, කවිඳු ගිම්හාන, චාමිකර ගුණසේකර, අකිල ඉරංග / දමින්ද රෙෂාන්.

රිච්මන්ඩ් විද්‍යාලය

මෙවර තරග වාරය තුල විශිෂ්ට දක්ෂතා අතර සිටින ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අන්තර් පාසල් එක්දින තරගාවලියේ ශූරතාව සිනා ගන්නට ද මෙවර සමත් වුනේ අවසන් තරගයේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමිනුයි., දෙදින තරගාවලියේ දී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු රිච්මන්ඩ් විද්‍යාලය ද තම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් පෙරට පැමිණි අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ මහානාම විද්‍යාලයත්, අවසන් පූර්ව වටයේ දී ප්‍රබල තර්ස්ටන් කණ්ඩායමත් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඕස්ට්‍රේලියානු තරග සංචාරය නිමවා නැවත කණ්ඩායම සමඟින් එක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් රිච්මන්ඩ් කණ්ඩායමේ බැබළෙන තරුවක් බවට පත් වෙත්දී රිච්මන්ඩ් විද්‍යාලය මේ තරග වාරයේ දී දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම සේවය ලබා ගැනීමට වාසනාවන්ත වී තිබේ. විශිෂ්ට වමත් පිතිකරුවෙකු වන ධනංජය ලක්ෂාන් ලකුණු 550ක් ලබා සිටින්නේ ආදරවන්තයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ දී වාර්තා කළ අගනා ශතකයක් ද සමඟයි. ලකුණු 500 සීමාව ආසන්නයටම පැමිණ සිටින ක්‍රීඩකයන් වන චාමිකර හේවගේ සහ  ආදිත්‍ය සිරිවර්ධන රිච්මන්ඩ් පිතිකරණ ලැයිස්තුවට සවියක් එකතු කරන තවත් සම්පත් ලෙස හැඳින්විය හැක.

මෙවර තරග වාරයේ දී කඩුලු 50 සීමාව පසුකර සිටින පිට දඟ පන්දු යවන සඳුන් මෙන්ඩිස් ගාලු සේනාංකයේ පන්දු යැවීමේ බල ඇණියට නායකත්වය දෙන අතර කඩුලු 34කට හිමිකම් කියන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රවිෂ්ක විජේසිරි ඔහුගේ සහය නියමුවා ලෙස හැඳින්විය හැක.

සිහින් නමුත් සවිමත් සිරුරකට හිමිකම් කියන වේග පන්දු යවන ක්‍රීඩක තිලංග උදේශන නව පන්දුවේ වගකීම භාර ගෙන සිටින්නේ මෙවර තරග වාරයේ දී කඩුලු 43ක් දවා ගනිමින් වන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 38කට කඩුලු 6ක් දවා ගැනීම ලෙස සටහන්ව තිබේ.

අපේක්ෂිත කණ්ඩායම

කමිඳු මෙන්ඩිස් (නායක), ධනංජය ලක්ෂාන්, චාමිකර හේවගේ, ආදිත්‍ය සිරිවර්ධන, තිසර දිවාන්, අවිඳු තීක්ෂණ, සඳුන් මෙන්ඩිස්, තිලංග උදේශන, තවීෂ අභිෂේක්, දුවීන් සසිඳු, රවිෂ්ක විජේසිරි.

සාරාංශය

කණ්ඩායම් දෙක සහ අතීත දස්කම් දෙස සලකා බැලීමේ දී වඩාත් ශක්තිමත් කණ්ඩායම ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි වන්නේ රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායමයි. කෙසේ වෙතත් අවිනිශ්චිත ක්‍රීඩාවක් වන ක්‍රිකට් පිටියේ සිදුවීම් පිළිබඳ අනාවැකි පල කිරීම අතිශය අපහසු කරුණක් බැවින් තීරණාත්මක ශූරතා සටනක දී දැක බලා ගැනීමට ලැබිය හැකි සිදුවීම් මෙතෙකැයි කියා නිම කළ නොහැක.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට