“සල්ලිවලට මොකද වුනේ?” – Hodgeගේ සටහනෙන් BCCIයේ ඇස් ඇරේ!

233

2010 වර්ෂයේ දී Kochi Tuskers Kerala නියෝජනය කරමින් IPL තරගාවලිය සඳහා සහභාගී වූ නමුත් තවමත් තමන්ට හිමි විය යුතු මුදලෙන් වැඩි කොටසක් ලැබී නොමැති බව සඳහන් කර සිටින හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු Brad Hodge මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම BCCIය සතු කාර්‍යභාර්‍යක් බව Twitter පණිවිඩයක් එක්කරමින් අවධාරණය කර තිබේ. 

2010 වසරේ දී IPL තරග වාරයට පෙරාතුව පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඇ.ඩො. 425,000ක මුදලකට Kochi Tuskers Kerala කණ්ඩායම විසින් Brad Hodge මිල දී ගනු ලැබූ අතර ඔහු එම තරගාවලිය පුරාවට තරග 14ක දී ලකුණු 285ක් රැස් කරමින් සාර්ථක පිතිකරණයක නියැලුණේ ඔහු කෙරෙහි තැබූ විශ්වාසයට සාධාරණයක් ඉටු කරමිනි.

ඔහු මෙසේ තම චෝදනාව Twitter පණිවිඩයක් ආකාරයෙන් සටහන් කර තිබුණේ 2020 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ඉන්දීය ක්‍රීඩිකාවන් හට තවමත් ඔවුන්ට හිමි විය යුතු ඇ.ඩො. 550,000ක මුදල බෙදා දී නොමැති බවට Telecricket පුවත් ජාලය ඔවුන්ගේ නිල Twitter ගිණුමෙහි තැබූ සටහනට ප්‍රතිචාරයක් ලෙසිනි.

තවත් ක්‍රිකට් පුවත්:

“අවුරුදු 10කට උඩ දී Kochi Tuskers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු කාලසීමාවට අදාළව හිමි විය යුතු මුළු ගාස්තුවෙන් 35%ක් විතර එකම ක්‍රීඩකයෙකුවත් තාම ලැබිලා නැහැ. මම විශ්වාස කරනවා BCCIයට හැකියාවක් තියෙනවා මේ ගැන හොයා බලලා මොනවද ඒ සල්ලි වලට වුනේ කියලා පැහැදිලි කරන්න.”

Kochi Tuskers Kerala කණ්ඩායම් කළමනාකාරිත්වයේ අවිධිමත් ක්‍රියාකලාපය නිසාවෙන් IPL තරගාවලිය තුල ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වූයේ 2010 තරග වාරය පමණක් වන අතර ඉන්දීය රුපියල් කෝටි 155.3කට ආසන්න වාර්ෂික ගාස්තු  පැහැර හරිමින් කටයුතු කිරීම හේතුවෙන් 2011 වසරේ දී ඔවුන්ව සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට ද IPL තරගාවලි විධායක කමිටුව පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් KTK කණ්ඩායමේ සම හිමිකාරිත්වය දැරූ Rendezvous Sports සමාගම විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව මුම්බායි මහාධිකරණයේ දී නඩුවක් ගොනු කිරීමට කටයුතුකොට තිබුණේ BCCIය ඉන්දීය කෝටි 550ක ගෙවීමක් තමන්ට සිදු කිරීමට බැඳී සිටි නමුත් එය පැහැර හැර ඇති බවට චෝදනා කරමිනි.

රාහුල් ඩ්‍රාවිඩ්, S. ස්‍රීසාන්ත් සහ මහේල ජයව‍ර්ධන වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් 2010 වසරේ දී Kochi කණ්ඩායම නියෝජනය කරමින් ඔවුන්ගේ දායකත්වය ලබා දුන් නමුත් ඔවුන්ට තරගාවලිය අවසන් කිරීමට සිදු වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අටවැන්නා ලෙසිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<